Blog Archives

නොපෙරුණු සඳ එළිය සමග එන මරණයේ පණිවුඩය…


Illicit Liquorමිනිසා දැන් භාවිත කරන බොහෝ දෑ සොයා ගත්තේ මානව ශිෂ්ඨාචාරයේ මූලික අවධියේදී මය. සතුන්ගෙන් හෝ පරිසර උවදුරුවලින් සම ආරක්‍ෂා කර ගන්නට කොළ අතු අඳින්නේද, ඉන් පසු සත්ත්‍ව සමින් කළ ඇඳුම්, රෙදි පිළි දක්වා විකාශය වූයේ ද මිනිස් අවශ්‍යතා පරිපූර්ණ කර ගැනීමට දැරූ වෙහෙස නිසා මය. මිනිසාගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වූ පසු මානවයා අවතීර්ණ වූයේ ජීවිතය පහසු කරන දෑ සහ තමන්ගේ බලය-තේජවන්ත භාවය තහවුරු කිරීම ප්‍රදර්ශනය කිරීම ආදී දේ සපයා ගැනීමේ ක්‍රියාවලියටයි. ඒ නිසාම කාර්මික විප්ලවය හරහා විවිධ යන්ත්‍ර සූත්‍ර නිපදවීම, ඛණිජ තෙල් සොයා ගැනීම සහ භාවිතය, ඒ හරහා මෝටර් රථ, ගුවන් යානා, ආදිය නිපදවීම සහ බලය තහවුරු කර ගැනීමට අවි ආයුධ නිෂ්පාදනය සිදු විය. හතරවන කාර්මික විප්ලවය සහ තාක්‍ෂණය දියුණු වීම හරහා දැන් දැන් සිදු වන්නේ මානව සබඳතා වලින් තොරවම සිය කටයුතු සිදු කර ගැනීම, සියල්ල ඉතා ඉක්මනින් ඉටු කරමින් මානව කාර්යක්‍ෂමතාවය, ඵලදායීතාවය උපරිම කිරීම, අඩු පිරිවැයකින් වැඩි ලාභ ඉපයීමේ ක්‍රම සොයා ගැනීමයි.

මේ හා සමගාමීව මිනිසා විනෝදාස්වාදය සඳහා ද කළ නිපැයුම් කාලයෙන් කාලයට වෙනස් වූවා. වෙහෙස නිවා ගැනීමට ගසක කඳකට තට්ටු කරමින් තනුවක් මිමිණූ ආදි මිනිසා, සංගීත භාණ්ඩ විවිධාකාරයෙන් නිපදවා, එය සංධ්වනියක් බවට පත් කළා. ඉනුදු නොනැවතී දැන් ස්වයංක්‍රීයව සංගීතය නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ සංගීත අධ්‍යක්‍ෂකවරු පවා නිපදවී අවසන්.. සංගීතය හෝ වෙනයම් කලා නිර්මාණයක් විඳීම ද කාලයත් සමග වෙනස් වෙමින් පවතිනවා.

මානව ශිෂ්ඨාචාරය එසේ කෙතරම් ඉදිරියට ගියත්, සමහර ප්‍රාථමික දෑ ඒ ආකාරයෙන්ම විකාශය නොවී තිබීමත් අපූරුයි. මිනිස් හැඟීම් සහ ඒවාට දක්වන ප්‍රතිචාර තවමත් ප්‍රාථමිකයි. එදා වූ ඒ ගෝත්‍රික සමාජමය ගති ලක්‍ෂණ තවමත් ඕනෑම සමාජයක දැකිය හැකි අතර, රටෙහි වූ අධ්‍යාපනික සහ අධ්‍යාත්මික නැඹුරුව අනුව එම ගෝත්‍රික ගති ලක්‍ෂණ වෙනස් වනවා. සමීක්‍ෂණ අනුව රටක සාමකාමීත්‍වය ආගමික නැඹුරුවට ප්‍රතිලෝමව සමානුපාතික වීම මේ ගෝත්‍රික මානසිකත්‍වයේ අරුමය හොඳින් කියාපානවා. අධ්‍යාපනය කෙතරම් දියුණු වුනත්, රටක සාමූහික සිතුම් පැතුම් නැමියාව අනුව රටක දියුණුව රඳා පවතිනවා. අපේ රට ඊට හොඳම උදාහරණයක්.

මේ ගෝත්‍රික සමාජමය ගති ලක්‍ෂණ හා සමගාමීව තවත් වෙනස් නොවූ දෙයක් නම් මිනිසා සිය මනස තාවකාලිකව ලිහිල් කර ගැනීමේ සරළ ක්‍රමය වන මත්පැන් සහ මත්ද්‍රව්‍යවල විකාශයයි. සරළව කිවහොත් මත්පැන් යනු එතිල් මධ්‍යසාරය මිශ්‍ර වූ ජලයයි. නමුත්, කාලයාගේ ඇවීමෙන් මේ සරළ ද්‍රාවණය විවිධාකාර නවෝත්පාදන හරහා දියුණු වී විවිධාකාර වෙළඳ නාම, වටිනාකම් එකතු වෙමින් පරිණාමය වී තිබෙනවා.

එදා සතුන් පසුපස දඩයමේ ගිය මානවයා තිබහට ගසක වූ බෙනයකින් පානය කළ පළතුරු හෝ වෙනත් යමක් පැසුණ ජලයෙන් මත් වූ පසු, එම ආශ්වාදය නැවත නැවතත් ලබා ගැනීමට කළ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මත්පැන් සොයාගන්නට ඇති නමුත්, එය ක්‍රමාණුකූලව ආසවනය කර එහි වූ ඵලදායීතාවය වැඩි කිරීමේ මූලික කටයුත්ත සිදු වී ඇත්තේ ක්‍රිස්තුපූර්ව දෙවන ශතවර්ශයේ බැබිලෝනියාව සහ මෙසපොතේමියාව ආශ්‍රිතවයි. එසේ ඇරඹුණු මත්පැන් පෙරීම සහ භාවිතය දැන් දැන් රජයයන්ගේ අනුග්‍රහය ලබමින්, රටකට බදු ආදායම වශයෙන් අපමණ අගයක් එකතු කරමින් සුවිසල් ව්‍යාපාරයන් සේ බැබලෙන අතර, මිනිසා ද සිය වින්දනීය අවශ්‍යතා වෙනුවෙන් මඳපමණට හෝ බිම වැටෙනතුරු පානයට තමන්ට දැරිය හැකි ප්‍රමාණයේ විවිධාකාර මට්ටම්වල මත්පැන් වර්ග පානයට පුරුදු වී සිටිනවා.

නමුත්, සෑම රටකම සෑම සමාජයකම පවතින ක්‍රමයට අභියෝග කරන විවිධාකාර නව නිර්මාණකරුවන් නිසාම, තම තමන් විසින්ම මේ වින්දනීය අවශ්‍යතා සපුරා ගැනීමටත්, සරළ නිෂ්පාදන කටයුත්තකින් මහා පරිමාණව ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් නිසාත්, නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනයට සහ වෙළඳාමට යොමු වී සිටින අතර, තත්ත්‍වයට වඩා මිල පිළිබඳ සැළකිලිමත්වන සමහරුන්, මේ නීති විරෝධී මත්පැන් භාවිතයට හුරු වී සිටිනවා. මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේදී තත්ත්‍ව පරීක්‍ෂණයක් හෝ නිසි නිෂ්පාදන යාමනයක් සිදු නොවීම නිසා එයට විවිධාකාර දෑ එක් වන අතර, මත්පැන්වල ඇති එතනෝල් වලට අමතරව ද්‍රවණයේ ඇති මේ සමහර සංයෝග  මිනිසාට මාරාන්තික වනවා. මෑතකදී මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ හය දෙනෙකුට මරු කැඳවූයේ මේ නීති විරෝධී මත්පැන් වල වූ මාරාන්තික බව නොසළකා නිෂ්පාදනය සහ භාවිතය නිසා.

අප රටේ පමණක් නොව, මුළු ලෝකය පුරාම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වෙනවා. එය හුදෙක් ලාභ ලැබීමට සමහරු කළත්, තවත් සමහරු විනෝදාංශයක් ලෙස ද කරන අවස්ථා නැතුවා නොවේ. බොහෝ රටවල නිවසේදීම වයින් සහ බියර් වැනි ස්ප්‍රීතු නොවන නොපෙරන මත්පැන් වර්ග සකසා ගැනීමේ හැකියාම සිය රටවැසියන්ට ලබා දී තිබෙන අතර, ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා සුවිශේෂී බලපත්‍ර අවශ්‍ය වන අතර, ඒ සඳහා අධිකව බදු ගෙවිය යුතුයි. නමුත්, සමහර පුද්ගලයින් මේ නිසා කැලෑ මධ්‍යයේ හෝ සුවිශේෂීව සැකසූ නිවෙස්වල රහසිගතව විවිධාකාර පරිමාණයෙන් මේ ස්ප්‍රීතු නිෂ්පාදනය කරන අතර ඒ සඳහා සමහරවිට දේශපාලනික, නීතිමය අනුග්‍රහය පවා ලැබෙමින් පවතිනවා. දැන් දැන් සියල්ලම දේශපාලනීකරණය වී ඇති නිසා සරළව කැළයක් මධ්‍යයේ කුඩා පරිමාණව නිෂ්පාදනය වන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාර අභාවයට යමින් මහා පරිමාණ නිෂ්පාදනාගාර පැවැත්ම තහවුරු කර ගනිමින් පවතිනවා.

මේ නීති විරෝධී මත්පැන් වලට විවිධ රටවල විවිධාකාර නම් භාවිත කරන අතර, වඩාත් ප්‍රචලිත ඉංග්‍රීසි භාවිතය වන්නේ Moonshine නොහොත් “සඳඑළිය” යන්නයි. එය එසේ වන්නට ඇත්තේ අමෙරිකාවේ නීති විරෝධී මත්පැන් පෙරීම රාත්‍රී කාලයේදී සිදුවීමත්, එයින් නිෂ්පාදන වන අවර්ණ ස්ප්‍රීතු ඉතා පැහැදිලි ද්‍රාවණයක් වීමත් නිසා විය හැකියි.

නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනයකදී එය ක්‍රමාණුකූලව නිසි තත්ත්‍ව පරීක්‍ෂණවලට භාජනය කරමින් සහ ප්‍රශස්ත අමුද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කරනු ලබන්නේ එය භාවිත කරන්නන්ට මෙන්ම සිය වෙළඳ නාමය ද වෙළඳ පොලේ ඉහලින් තබා ගැනීමේ අභිප්‍රාය මතයි. මේ ස්ප්‍රීතු නිෂ්පාදනය වෙනම කලාවක් මෙන්ම වෙනම රසායන විද්‍යාවක් ද වනවා. භාවිතයට ගන්නා අමුද්‍රව්‍ය මත මෙන්ම ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර මත ද මේ ස්ප්‍රීතු වල රසය, සුවඳ ආදිය වෙනස් වන නිසා නිෂ්පාදකයින් සිය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් ඒ සියල්ලම ශතවර්ශ ගණනාවක් තිස්සේ නොවෙනස්ව පවත්වාගෙන යනවා. ස්කොට්ලන්තයේ නිපදවන සමහර විස්කි වර්ගවලට ජලය ලබා ගන්නේ පීට් නිධියක් අසළින් ගලා යන දිය පහරකින්. මේ නිසා එම විස්කි වර්ගය  මස් පිලිස්සූ සුවඳකින් යුක්තයි, එසේ වුවත්, එය රසෙහි කිසිදු වෙනසක් නොමැතිව සකසා තිබෙනවා. මේ එක් උදාහරණයක් පමණයි.

 

බොහෝවිට ස්ප්‍රීතු වර්ග නිශ්පාදනය කරන්නේ පැසවන ලද ධාන්‍ය පැසවීමෙන් ලැබෙන මද්‍යසාර මුසු ජලය ආසවනය කිරීමෙන්. මේ ආසවනයෙන් ලැබෙන ඵලය වන්නේ සියයට අනූවට වැඩි ප්‍රතිශතයක් ඇති එතිල් මද්‍යසාරය සහ ඒ හා සමාන තාපාංකයක් ඇති ඇල්ඩිහයිඩ් වර්ග, කීටෝන සහ ද්‍රවණයේ මෙතිල් මද්‍යසාරය ඇතිනම් එය ද මේ හා එකතු වනවා. බොහෝ මත්පැන් වර්ගවල මෙතිල් මද්‍යසාරය ඉතාමත් කුඩා ප්‍රමාණ වලින් අඩංගු වනවා. මහා පරිමාණව නීත්‍යානුකූලව සිදු කරන නිෂ්පාදනයේදී මෙම එකතු වන මද්‍යසාර සුවිසල් ලී ලේගර තුළ බහා වසර ගණන් පදම් කරනවා. මේවා වැට් යනුවෙන් හඳුන්වන අතර මේ වැට් වර්ග විවිධ ලීවලින් සකසා තිබෙනවා. වැඩි වශයෙන්ම ඕක් නොහොත් දේවදාර ලීවලින් සකසන මේවා තුළ වසර ගණනක් මද්‍යසාර බහා තිබෙන විට එහි වූ අනවශ්‍ය සංයෝග මේ ලී වලට උරා ගන්නා අතර, දේවදාර ලීයේ වූ සුවඳකාරක සහ රසකාරක සංයෝග මේ මද්‍යසාරයට එකතු වනවා. නිසි වසර ගණන සම්පූර්ණ වූ පසු තවත් රසකාරක සහ සුවඳකාරක එකතු කර විවිධ වෙළඳ නාම වලින් පාරිභෝගිකයා වෙන ලැබෙන මේ මත්පැන් අධික මිල ගණන් වලට අලෙවි වන්නේ එහි වූ සුවිශේෂීත්‍වය වසර සිය ගණනක් නොවෙනස්ව පවත්වාගෙන යන නිසා.  එසේම ඒ ඒ මත්පැන් වර්ග වලට හුරු වූ පාරිභෝගිකයන් එහි වෙනස් කම්, සියල්ල සියුම්ව හඳුනාගෙන සිටින නිසා ඒ ඒ වෙළඳනාමයන්ට ඇති ඇල්ම නොවෙනස්ව පවතිනවා.

ලංකාවේ කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ රටවල මත්පැන් පානය කලාවක් සහ සංස්කෘතියක් වන අතර එය උත්සව අවස්ථාවක, මිතුරු මිතුරියන් හා සතුටු සාමීචියක යෙදීමේදී හෝ යමක් සැමරීමේදී භාවිත කරන අතර බොහෝ අවස්ථාවල සුළු ප්‍රමාණයකින් සෑහීමකට පත් වනවා. නමුත්, අවාසනාවකට ලංකාවේ මත්පැන් පානය කිරීමට කිසිදු හේතුවක් අනවශ්‍ය අතර, මරණයකදී, මගුලකදී, බණකදී, දානයකදී, මෙන්ම අවශ්‍ය ඕනෑම විටෙක මත්පැන් පානය කිරීමට අවශ්‍ය හේතුවක් හදා ගැනීමට ද ලාංකිකයා අති දක්‍ෂ වනවා. එපමණක් නොවෙයි සාදය අවසන බෝතලයේ පතුල දැකීමට අවශ්‍ය වන නිසා බොහෝ විට පදම වරදිනවා. මෙය ලාංකිකයා ලෝකයේ කුමන රටක ජීවත් වුවත්, එක සේ සිදුවන දෙයක්…..

 

ලංකාවේ සුළු පරිමාණව මත්පැන් පෙරන්නේ කැළයක වැනි විවෘත ස්ථානයක වන අතර මෙහි අමුද්‍රව්‍ය වන්නේ බොහෝ විට සීනි සහ යීස්ට් වේ. තොග මිලට ලබා ගන්නා ඉතාම බාල තත්ත්‍වයේ සීනි වන අතර පැසවිමට ලබා ගන්නේ කර්මාන්ත ශාලාවකින් ඉවත ලන බැරල් තුල යීස්ට් පදමට දමා දින කිහිපයක් පැසවීම කරන අතර මේ පැසවීම සිදුවන විට නිකුත් වෙන ගෝඩා සුවඳ/ගන්ධයට ඇදී එන කටුස්සන්, ලේනුන්, හූනන් ආදී මෙකි නොකී සියළුම සත්ත්‍වමය ප්‍රෝටීන ද මේ ගෝඩා බැරලයට එකතු වීම සිදු වේ.. මේ බැරල්වල සමහරවිට විවිධාකාර විෂ රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබිය හැකි අතර, ඒවා නිසි පිරිසිදු කිරීමකින් තොරව කසිප්පු නිෂ්පාදනයට යොදාගත් විට ඒ රසායන ද්‍රව්‍ය මද්‍යසාර හා මුසු වීම සිදු වේ. ඒ අතරම තත්ත්‍වය උසස් කර පදමට වැදීම සඳහා සමහරුන් යූරියා වැනි ද්‍රව්‍ය ද එකතු කරන බවට ද මත පවතී. ඒ අතර කුණුවන පළතුරු, වරකා, ආදී සීනි අඩංගු විය හැකි සෑම මල ජරාවක්ම මේ වෙතට එකතු කිරීමට කසිප්පු නිෂ්පාදකයා වග බලා ගන්නේ සිය ලාභය උපරිම කර ගැනීමට ය.

මෙසේ පැසෙන ගෝඩා බැරලය, රසායන විද්‍යාවේ මූලික උපක්‍රම භාවිත කරමින් බැරලයට සවි කළ තඹ බටයක් කොයිල් එකක් සේ සකසා, ජල මාර්ගයක් හරහා යැවීමෙන් ආසවනයට අවශ්‍ය යටිතල පහසුකම් සපයාගෙන අවසන එකතු වන මෙතිල්, එතිල් මද්‍යසාර, ඇසිටැල්ඩිහයිඩ්, ඇසිටෝන් වැනි මෙකී නොකී සියළුම දෑ භාජනයකට එකතු කර ගන්නා කසිප්පු රසායන‍ඥයා, සිය ලාභය අනුව ජලය මිශ්‍ර කර සිය පාරිභෝගිකයාට පොලිතීන් බෑග් එකකට සපයන්නේ එය ඉතාමත් ලාභදායී සහ පහසුම ක්‍රමය නිසාය.

මේ ක්‍රමයට ලබා ගන්නා මත්පැන් කිසිදු විටක පිරිසිදුකරණයකට හෝ පදම් වීමකට භාජනය නොකරන නිසා කිසිදු රසායනික සංයෝගයක් වෙන් නොවී සියල්ල පාරිභෝගිකයාට ලබා ගැනීම දෙපාර්ශවයටම සිදුවන වාසියකි. නමුත්, මෙහි භයානක අතුරු ප්‍රතිඵල වන්නේ එතිල් මද්‍යසාරය සමග මෙතිල් මද්‍යසාරය මිශ්‍රව පැවතීමයි. මේ මෙතිල් මද්‍යසාරය අතිශයෙන්ම භයානක වන්නේ එය අක්මාවේදී ෆෝමික් අම්ලය බවට පරිවර්තනය වී එය දෘශ්‍ය ස්නායුව කෙරෙහි දැඩි බලපෑම් ක්‍ෂණයකින් ඇති කරන නිසායි. මේ නිසා මෙතිල් මද්‍යසාරය විෂ වන බොහෝ දෙනාගේ මූළික රෝග ලක්‍ෂණයක් වන්නේ දෑස් නොපෙනී යාමයි. සාමාන්‍යයෙන් පිරිසිදු මෙතිල් මද්‍යසාරය මිලි ලීටර දහයක් ශරීරගත වුවහොත් ඕනෑම පුද්ගලයෙකු සදාකාලික අන්ධභාවයට පත්වීමට පුළුවන්. මිලිලීටර 15 ක් යනු කෙනෙකු මරණයට පත් කළ හැකි ප්‍රමාණයකි.

මෙතිල් මද්‍යසාරය වැරදී හෝ කෙනෙකුට පෙවුන හොත් කළ යුතු එකම දෙය වන්නේ එතිල් මද්‍යසාරය පෙවීමයි. නමුත් කිසියම් පුද්ගලයෙක් ඒ වනවිටත් මත්පැනින් මත් වී ඇතිනම්, එය එසේ කළ යුතු නැහැ. මද්‍යසාර නොගත් කෙනෙකුට මෙතිල් මද්‍යසාර විෂවීමක් සිදු වූයේ නම් සාමාන්‍යයෙන් වොඩ්කා වැනි ස්ප්‍රීතු මිලි ලීටර 50 ක් පමණ පෙවීමෙන්  එහි ආචරණ පාලනය කරගත හැකියි. එහිදී සිදු වන්නේ අපේ අක්මාවේ මද්‍යසාර කඩා බිඳ දමන ඇල්කොහොල් ඩිහයිඩ්‍රජනේස් නම් එන්සයිමය වෙත පැමිණෙන මෙතිල් මද්‍යසාර අණු වලකා, ඒ වෙනුවට එතිල් මද්‍යසාර අණු ආදේශ වීමයි. මේ නිසා මෙතිල් මද්‍යසාරය ෆෝමික් අම්ලය බවට පරිවර්තනය වීම වැලකී, වෙනත් ආකාරයකින් මෙතිල් මද්‍යසාරය බිඳ වැටෙනවා.

ඕනෑම කෙනෙකුට කළ හැකි හොඳම දෙය වන්නේ හැකි තරම් මත්පැනින් වැලකී සිටීමයි. එසේ කළ විට මුදලත්, තමන්ගේ සෞඛ්‍යයත් ඉතිරි වනවා පමණක් නොවෙයි අනවශ්‍ය කරදර වලට ද පැටලීමෙන් වැලකෙනවා. කෙනෙකුට මත්පැන් බීමට අත්‍යවශ්‍ය නම්, දන්නා තැනකින්, දන්නා වෙළඳ නාමයක් යටතේ ඇති යමක් පානය, නොදන්නා දෑ පානය කර සදාකාලික අන්ධභාවයට හෝ ක්‍ෂණික මරණය ලඟා ගර ගැනීමට වඩා යහපත් වනවා.

හුරුවෙයන් මචං මෙන්න මේවට………………… ඒක පට්ට


Patta

 

අපි හැමදේම කරන්නෙ ජීවත් වෙන්න… සමහරු බොහොම හොඳට ජීවත් වුනත්, තවත් සමහරු වේලක් ඇර වේලක් කාලයි ජීවත් වෙන්නෙ.. ඇති හැකි අය වගේම නැතිබැරි අයත් මේ සමාජයෙම කොටස් – ජීවිතය දෙවිදියකට සැලකුවත්, අපි හැමෝම උපදින්නෙ නිරුවතින්.. මිය යන්නෙ හිස් අතින්.. ඒ අතරෙ අපි විවිධාකාර ජීවිත රංගනයන් කරනවා.  අපි බොහෝ දේ වලට හුරු වෙලා ඉන්නවා… සමහර පුරුදු ජීවිත කාලෙම ගෙන යනවා.. තවත් සමහර ඒවා පුහුණු කළ පුරුදු බවට පත් වෙනවා… ඉතිං ඒ අතරේ හුරු වෙයං මෙන්න මේවට කියලත් රැල්ලක් යනවා.

මචං කියලා මම මේ කියන්නෙ මචංලට සහ මැචීල දෙගොල්ලොන්ටම….

හුරුවෙයං මචං… ඉස්කෝලෙ යන කාලෙ හොඳට ඉගෙන ගන්න… අපේ අම්මලා තාත්තලා දහ දුක් විඳලා සමහර වෙලාවට වේලක් නොකා නොබී සල්ලි ඉතුරු කරන්නෙ අපිට හොඳට උගන්නන්න මචං… අපි මොකද ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන පනං හතරට කරන්නෙ ? ෆෝන් එකට කාඩ් දාගෙන ඉන්ටනෙට් යනවා, ෆේස්බුක් යනවා, චැට් කරනවා, රවුම් ගහනවා… නේද මචං ? පොඩ්ඩක් හිතලා බලපං මචං… අපි හොඳ දෙයක් කළොත් ඒ මිනිස්සුන්ගෙ මූණට වැටෙන එළිය ? අපි හොඳ රිසල්ට් එකක් දැම්මාම ඒ මිනිස්සුන්ගෙ ඇස්වලින් පනින කඳුළු බිංදු.. අන්න ඒවයි මචං පට්ට.. ඒ සතුට, ඒ කඳුල මිල කරන්න බෑ මචං.. හුරුවෙයං මචං ඒ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු සඵල කරන්න…. ඒක පට්ටයි මචං…..

Shadow-of-Success

අපේ දෙමව්පියො දවස තිස්සෙ රස්සාවට ගිහින්, නැතිනම් කුලියක් මලියක් කරලා අපි ගැන මහා බලාපොරොත්තු තියාගෙන ජීවිතේ එක්ක ෆයිට් කරනවා මචං…ඒ මිනිස්සුන්ගෙ ජීවිත කතාව සමහරවිට බොහොම දුඛිතයි… අපි දන්නෙත් නෑ…අපි වෙනුවෙන්ම හැම දේම කරනවා මිසක්, ඒ මිනිස්සුන්ට කියලා යමක් කරගන්නෙම නැති තරම්. අපි සමහර වෙලාවට, ක්ලාස් ගිහින් හෝ රවුමක් ගහලා ඇවිත්, ඒ මිනිස්සු කන්න උයලා දෙනකල් ටී වී එක ඉස්සරහ ඇමරිකන්කාරයො වගේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එනකල් බලාගෙන හරි ෆේස් බුක් එකේ චැට් එකක් දාගෙන ඉන්නවා නේද මචං ? නරකද හවසට ඒ මිනිස්සුන්ට පොඩ්ඩක් උයන්න පිහන්න, ගේ අස්පස් කරන්න සපෝට් එකක් දුන්නොත් ? සමහර විට මචං, ඔයාගෙ තාත්තා වාහනයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්… නරකද තාත්තා වාහනය හෝදනකොට පොඩි සප් එකක් දුන්නොත්? ඒ මනුස්සයා සංතෝෂ වෙනවා නේද මචං ? ඒ සංතෝෂය ෆේස් බුක් එකේ චැට් එකකින් ගන්න පුළුවන්ද මචං ? හුරුවෙයං මචං අම්මට තාත්තට හැකි හැම වෙලාවකම උදවුවක් කරන්න… ඒක පට්ට මචං….

අපි පාරෙ යනකොට සමහර වෙලාවට කඩල ගොට්ටක්, අයිස්ක්‍රීම් එකක්, චොකලට් එකක් කනවා නේද මචං ? අපි ඒකෙ ඉවත ලන කොළ දාන්නෙ කොහෙද මචං ? කිසි සද්දයක් නැතුව ශේප් එකේ බිමට දානවා නේද මචං ? එතකොට මොකද වෙන්නෙ ? පරිසරය අපවිත්‍ර වෙනවා… කුණු එකතු වෙනවා… හරි නෑ නේද මචං ? වැරදිලාවත් සිංගප්පූරුවට වගේ ගිහින් ඒවගේ කරන්න එපා මචං… හිරේ ලගින්න වෙනවා… ඇයි අපි අපේ ලංකාව ලස්සනට තියා ගන්න හිතන්නෙ නැත්තෙ මචං ? අනිත් එවුන් කරන නිසා මමත් ගානක් නැතුව ඒකම කරනවද ? ගෙදර එකතුවෙන කුණු, අපි කොච්චරවත් පාරෙ අයිනට ගිහින් දානවද මචං?   ඇයි අපිට වෙනස් වෙන්න බැරි ? අනිත් එවුන්ට බම්බු ගහ ගන්න කියලා.. අපි හරි දේ කරමු මචං…. කුණු පාරෙ නොදා, නිසි තැනට බැහැර කරමු… ඒකට හුරුවෙයං මචං… ඒක පට්ට..

කුණු කිවුවාම අපිට කුණු කන්දෙ සීන් එක අමතක වෙන්නෙ නෑ නේද මචං ? පවු… අපේ කුණු නිසාම අවුරුද්ද දවසෙ මිනිස්සු සෑහෙන මැරුණා… තව සමහරු තවමත් අතුරුදහන්,.. අවතැන්… අපට නං ගානක් නෑ නේද මචං ? ඒ දවස්වල නං අපි කුණු කන්දෙ ෆොටෝ දාගෙන ෆේස්බුක් එකේ ඇඬුවා… නේද මචං ? අපි මුල ඉඳලම කසළ කළමණාකරණය කළා නම් මේක පොඩ්ඩක් හෝ අඩු කරගන්න තිබුණා නේද මචං ? නරකද ගෙදරම කසළ වෙන් කරලා දිරන කසළ කොම්පෝස්ට් කළොත් ? ඒ එක්කම එළවලු ගහක් දෙකක් හදා ගත්තොත් ? අඩුම ගානෙ මිරිස් කරලක් හරි ගන්න පුළුවන් නේද මචං ? හුරුවෙයන් මචං ඒ වගේ දේකට… ඒකෙන් ලැබෙන ලාභය.. සතුට කඩෙන් එන නොදන්නා තැනක හැදුන, මොන කෙමිකල් එක ගහලද එවන්නෙ කියලා දන්නෙ නැති එළවලුවකින් ගන්න බෑ මචං…. ඒක පට්ට…

පාරට බැස්සම නොමැරි ගෙදර එන එක ලේසි නෑ නේද මචං ? කොහෙන් හැප්පෙයිද දන්නෙ නෑ…. බෝම්බ ගහපු කාලෙ හොඳයි කියලා හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට… නේද ? අපි පාරෙ ඇවිද්දත් වාහනයක් පැදෙව්වත් කොච්චර වැරදි කරනවා ද ? ඇයි අපිට හරි දේ කරන්න බැරි මචං ? ඇයි අපිට නීතිගරුකව කහ ඉරෙන්.. සමාවෙන්න… සුදු ඉරෙන් පනින්න බැරි ? අපේ මාන්නය බිඳෙනවද මචං ? අපි හදිස්සියෙන් පාර පැනලා මොකද්ද ලබා ගන්න හදන්නෙ ? තප්පර දහයක වාසියක්ද ? ජීවිතේ වන්දියක්ද ? අපි වාහනයක් එලවනකොට වුනත් මචං… පුළුවන් තරම් හදන්නෙ කොහෙන් හරි රිංගලා යන්න… නේද මචං ? ඇයි අපිට බැරි අනිත් එකාට පොඩ්ඩක් ඉඩ දීලා ට්‍රැෆික් එක අඩු කරගෙන යන්න? මොනවද අපට නැති වෙන්නෙ ? මේ ඉක්මන නිසා ජීවිත කීයක් නැතිවෙනවද කියලා හිතලා බලපන් මචං…. ඇයි අපි අනිත් එකාට පොඩ්ඩක් ගරු කරලා යන්න බැරි ? පාරෙ ලේන් දෙක තියෙද්දි, අපිම නේද තුන්වැනි ලේන් එකක් හදාගෙන ගිහිං පාර හිර කරන්නෙ ? ඇයි අපිට අනිත් අය වගේ ඉවසීමෙන් ගිහින් හරි විදියට යන්න බැරි ? බැරි නෑ මචං… අපිට ඕනකමක් නෑ,.. පොර වෙන්න අපි හෙඩ් ලයිට් ගහගෙන හෝන් ගහගෙන රෝං සයිඩ් එකෙන් ගිහින් ඉස්සරහ පාර බ්ලොක් කරලා ඒ මදිවට ඉස්සරහින් එන අයට සද්දෙකුත් දානවා.. නේද මචං… ඒක හරි නෑ…. හුරුවෙයං මචං මාර්ග නීති හරියට පිළිපදින්න… එතකොට පොලීස් රාලහාමිලා ඉස්සරහා දෙකට නැවෙන්න ඕන නෑ . පගාව දෙන්න ඕනත් නෑ.. පොලීසිය ඉන්නකොට විතරක් නෙවෙයි මචං පාරෙ හරියට යන්න ඕන.. හැම තිස්සෙම.. හිතට එකඟව… හුරුවෙයන් මචං වාහනයක හෝ පයින් යනකොට නීතිගරුකව පිළිවෙලකට යන්න… එතකොට අවදානමත් අඩුයි, පොලීසියත් ගරු කරනවා මචං… අන්න ඒක පට්ට…

ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට අපි රැල්ලට ගිහින් බොහොම අවදානම් අවස්ථාවල සෙල්ෆි ගහලා ලයික් හිගා කන්නත් යනවා….. සෙල්ෆියකට ලැබෙන උපරිම ලයික් ගණන කීයද ? 1000 ක් ? ඒ වගේද මචං ජීවිතය.. ? ජීවිතේ විඳලා දිගුකාලයක් සාර්ථකව හිටියොත් ලයික් කී දාහක් ලැබෙයිද ? ඒ නිසා මචං… ලයික් කීපයක් වගේ  බොහොම ලාභ දේකට ඔය වටින ජීවිතේ අවදානමේ දාන්න එපා.. හුරු වෙයං ජීවිතේ විඳින්න… විඳවන්න නොවෙයි… විඳින්න…. ඒක ඔක්කොටම වඩා පට්ටයි මචං….

ඒ ඔක්කොම කරලා රස්සාවට ගියාම අපි 100% ක් වැඩ කරනවද මචං ? සමහර වෙලාවට උඩින් පල්ලෙන් අතගාලා වැඩේ ගොඩ දාන්න නේද අපි ට්‍රයි කරන්නෙ ? එහෙම හොඳද මචං ? අපි අපේ පඩියට සරිලන වැඩක්වත් කරන්න ඕන නේද මචං ? හරියට හතරහමාර වෙනකොට ඇඟිල්ල ගහන්න හතරයි කාලෙ ඉඳලා මැශින් එක ඉස්සරහට වෙලා ඉන්නෙ අපිම නේද මචං ? එහෙම ඉඳලා අපිම නේද ෆේස්බුක් එකේ පොරටෝක් දෙන්නෙ ලංකාව හදන්න.. ? සමහර වෙලාවට වෙන ඔෆිස් එකකට ගිහින් වැඩක් කරගන්න බැරුව කොච්චර අපහසුතාවයට පත් වෙලා තියෙනවා ද මචං ? අපි අනිත් මිනිස්සුත් ඒ විදියටම අපහසුතාවයට පත් කරන්න ඕනද? හුරුවෙයං මචං කරන වැඩේ හරියට, සංතෝෂෙන් කරන්න මචං… ඒක පට්ට ෆීලිං එකක්.

ඒ වගේමයි මචං… අපි කොච්චර දේවල් හොරකං කරන්න පුරුදු වෙලා තියෙනවද ? සමහරු ඔෆිස් එකේ හාෆ්ශීට් එක පවා මාටියා ගහනවා නේද මචං ? ඕවා යාදෙන්නෙ නෑ මචං… හොරකං කරන්න, පගා ගහන්න පුරුදු වෙන්න එපා… දරුවන්ටවත් ලැබෙන දෙයක් නෑ . මලාට පස්සෙ වුනත් අනිත් අය කියයි.. මේකා හොරා.. පගාකාරයා, වගේ දේවල්….. හුරුවෙයං හොර බොරු, කොමිස් නැතුව, අවංකව වැඩ කරන්න මචං…ඒක පට්ට… එතකොට ලොක්කා වුනත් පැහැදේවි… සමහරවිට ප්‍රමෝෂන් එකක්, ඉන්ක්‍රිමන්ට් එකක් වුනත් ලැබෙන්න ඉඩ තියෙනවා.. යාළු මිත්‍රයො වුනත් උඹ ගැන හොඳ කියාවි… මැරෙන දවසට ඔළුව කෙළින් තියාගෙන බරක් නැතුව මැරෙන්න වුනත් පුළුවන් මචං… හුරුවෙයං කොන්ද කෙළින් තියාගෙන හරි හැටියට ජීවත් වෙන්න… ඒක පට්ට මචං…

ඒ විතරක් නෙවෙයි මචං…. සමහර වෙලාවට අපි හුඟක් අනිත් එවුන් දිහා බලලා අනුකරණය කරනවා… ඇඳුම් ඇඳින්නෙ, කොණ්ඩෙ හදන්නෙ.. කතා බහ කරන්නෙ අපේ අනුකරණය කරන අය දිහා බලලා… කෝ මචං ඒ ඇඟ ඇතුලෙ හිටපු කෙනා ? ඇයි අපි අනුන් වෙන්න හදන්නෙ ? ඇයි අපට අපිම වෙන්න බැරි ? ඇයි මටම කියලා අනන්‍යතාවයක් හදා ගන්න බැරි ? හුරුවෙයං මචං තමන්ව බ්‍රෑන්ඩ් එකක් කරගන්න.. තමන්ටම ආවේණික, යහපත් ශෛලියක් ගොඩ නගා ගන්න… එතකොට හැමෝම සලකන්න පටන් ගනීවි… ඒ ෆීලිං එක පට්ට මචං… කොහෙන්වත් ගන්න බෑ…..

අපි හැමෝම ආදරේ කරනවා නේද මචං ? ජීවිතේට… සමහර වෙලාවට බොහොම පොඩි කතාවක් ලොකු වලියක් දක්වා ඇදිලා ගහගන්නවා නේද? දුර දිග ගියොත් එකෙක් දෙන්නෙක් මැරෙන්නත් පුළුවන්… අපි හැමෝම ජීවිතේට ආදරෙයි මචං… මම වගේම උඹත්… අපි හැමෝගෙම ජීවිත අනිත් අයට සම්බන්ධ වෙලා තියෙන්නෙ.. අපි මලොත් දුක අපට නෙවෙයි, අපෙන් යැපෙන්නන්ට, අපිට ආදරේ කරන අයට… අපි ගැන නොහිතුවත් අපි එවුන් ගැන හිතමු මචං… ආවේගශීලීව ක්‍ෂණික තීරණ අරගෙන අමාරුවෙ වැටෙනවට වඩා පොඩ්ඩක් දුර හිතමු මචං.. අපි අතින් මැරෙන එකාටත් අපට තියෙන ජීවිතයම තියෙනවා මචං… ඌ වෙනුවට අපි මැරුණොත් මොකද වෙන්නෙ මචං ? හුරුවෙයං මචං ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව සාමදානෙන් ඉන්න… ඒක පට්ට මචං…

අපි ආදරේ කරනවා නේද මචං…කෙල්ලට, කොල්ලට, බිරිඳට, ස්වාමි පුරුෂයට… ඉතිං මේ ආදරේ ඇත්තම එකක්ද ? ඉස්සර නං එහෙමයි… දැන් නං ටිකක් වෙනස්… ඉස්සර මාර ගේමක් දීලයි කෙල්ලෙක් කැමති කරව ගන්නෙ.. දැන් එහෙමද ? ෆේස් බුක් එකෙන්ම සෙට් වෙලා ෆේස් බුක් එකෙන්ම අවසාන කරන ජීවිත… ඒ වගේමයි සමහර වෙලාවට අපි ඇත්තටම ආදරේ කරනවද ? කරනවා නම් හොඳයි මචං… යාළු වෙලා ඉන්න කාලෙ නම් ගැලපීමක් නෑ කියමුකො… ඒත් බැඳීමක් ඇති වුනාම, පවුලක් වගේ එකට එකතු වෙලා ජීවිතේ ගෙනියන්න ගත්තාම, ඒ බැඳීමට ගරු කරන්න ඕන මචං… ඒත් සමහරු එහෙමම නෑ… විනාඩි ගානක සැපතට මුළු ජීවිතේම විනාශ කර ගන්නවා.. මුළු ජීවිතයක්ම විනාශ කරනවා… හුරුවෙයං මචං ජීවිතේකට ගරු කරන්න… ඒක පට්ටයි මචං…

අපිට මේ ලැබිලා තියෙන ජීවිතේ ගිෆ්ට් එකක් මචං.. මේ ලෝකෙ අනන්තවත් මිනිස්සු ඉන්නවා කන්න වේලක් හොයා ගන්න බැරි, බොන්න පිරිසිදු වතුර දැකලාවත් නැති, අඳින්න හරිහමන් ඇඳුමක් නැති.. ඒ වගේම ජීවිතේ කොයි වෙලාවෙ නැති වෙයිද කියලා හිතන්නවත් බැරි අවදානමක ඉන්න. ඒ අතින් අපි හරි වාසනාවන්තයි මචං..අපිට වැටිලා ඉන්න තැනක්, කන්න යමක්, අඳින්න ඇඳුමක්, තියෙනවනේ… ඒ වුනත්, ඒ ජීවිතේ අපි නාස්ති කරනවා.. අපට පමණක් නෙවෙයි, අපි සමාජයටත් යමක් කරන්න ඕන මචං… ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවෙයි, ජොලි කිරීමම නොවෙයි.. අනුන්ට උදව්වක් කරලා ඒ මිනිස්සුන්ගෙ ජීවිතෙත් යම් පමණකට ගොඩ දාන්න පුළුවන් නම්, තවත් මනුස්සයෙකුගෙ මූණෙ හිනාවක් අඳින්න පුළුවන් නම්, අන්න ඒකයි මචං ජීවත් වෙනවා කියන්නෙ.. අපිට කොච්චර සල්ලි තිබුණත්, අනුන්ට උදවුවක් නැතිනම්, නැති බැරි මිනිහෙකුට රුපියල් දහයක් දෙන්නෙ නැතිව පොදි ගහගෙන ඉඳලා මැරිලා යනවා නම්, ඒ ජීවිතේ ලොකු හිස් බවක් තියෙනවා මචං.. හුරුවෙයං… තමන්ට වගේම අනුන්ටත් පොඩ්ඩක් හරි සලකන්න… ඒකට කවදා හරි ප්‍රතිඋපකාර ලැබෙනවා මචං… අන්න ඒක පට්ට මචං…

ඉතිං මචං… මෙන්න මෙහෙමයි අපි ජීවිතේට හුරු වෙන්න ඕන… අදහන ආගම මොකක් වුනත්, අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නෙ යම් කිසි mission එකකට… අපිටම කියලා හිමි වෙච්ච භූමිකාවක් අපට ලියැවිලා තියෙනවා. ඒකම නිසා තමයි බුද්ධිමත්තු, ව්‍යාපාරිකයො, දේශපාලනඥයෝ, ආගමික නායකයෝ අතරේ හොරු, මංකොල්ල කාරයෝ, මිනී මරුවො වගේ අයත් ජීවත් වෙන්නෙ… ඒ ඒ හැම දෙනාටම තමන්ට හිමි වෙච්ච භූමිකාවක් තියෙනවා මේ සමාජයේ රඟපාන්න… ඉතිං අපි උපරිමව ජීවත් වෙන මේ දවස් 36,500 අතරේ අපි අපට හිමි වෙච්ච භූමිකාව හොයා ගන්න ඕන… ඉක්මනින්ම හොයා ගත්තොත් අපට උපරිමය කරන්න පුළුවන් වේවි… එදාට අපි මේ ලෝකෙට සාධාරණයක් කළා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ අතරෙම ජීවිතය විඳින්නත් පුරුදු වෙමු මචං.. එහෙම ජීවිතේට සාධාරණයක් කළාම… මැරෙන දවසට ඇතිවෙන පට්ට ෆීලිං එක…වෙන මොනවා කළත් ලැබෙන්නෙ නෑ මචං…

041

ඉතිං මේ අපිට කරන්න පුළුවන් දේ වලින් බොහොම අල්පයක් විතරයි. අපි කීබෝඩ් වීරයෝ වගේ අනුන්ව විවේචනය කරන්නෙ නැතුව ඇත්තෙන්ම ඒ දේට බැහැලා වැඩක් කරනකොට තමයි අමාරුකම පේන්නෙ… ඉතිං මේ හැම දේම බොහොම උපේක්‍ෂාවෙන් සලකගෙන සමාජයේ තමන්ටත්, අනුන්ටත් හොඳ වැඩක් කරලා ජීවත් වෙන එක තරම් පට්ට ෆීලිං එකක් කවදාවත් ලැබෙන්නෙ නෑ,.. හුරුවෙයං මචං මෙන්න මේ දේවලට… ඒක පට්ටයි.

අපි හැමෝම උපදින්නෙ නිරුවතින්.. මිය යන්නෙ හිස් අතින්….හුරුවෙයන් මචං මෙන්න මේවට………………… ඒක පට්ට

මෙන්න රිවිර පත්තරේ මේ ලිපියේ දිගුව

http://www.rivira.lk/online/2017/08/05/121150

%d bloggers like this: