Blog Archives

2012 පෙබරවාරි 16 : ඇමරිකාවෙන් නොමිලේ දෙන අරාබි වසන්තය අපට අනවශ්‍ය ඇයි.. ?


සමා වෙන්න………………………………….

මම හැමදාම කරන්නේ හිතට එන ඔක්කෝම කරුණු ටික ලිපියකට එකතු කරලා පස්සේ එය සංස්කරණය කිරීම. මේ නිසා සමහර විට කාලීන මාතෘකා වලට අදාල ලිපි පළ වන්නේ තරමක් පරක්කු වෙලා… මේ ලිපියත් ලියලා ටික දිනක්… ඒත්, ඊයේ සිදු වුන සිදුවීම් එක්ක බැලුවාම දැන් නම් මගේ හිතේ තියෙන්නේ මීට වෙනස් අදහසක්… ඕන මගුලක් කියලා ලියපු එක දානවා…..

නමුත් ඇත්තටම අපට වෙන විකල්පයක් නැති නිසාම කරන්න දෙයක් නෑ… අපිම මේ දේශපාලනයට ඡන්දෙ දීලා අපිම විඳවන්නේ අපේම තියෙන කරුමෙ වෙන්න ඇති…

ඇමරිකාව තමන්ට නැති වුනත් අනුන්ට ප්‍රජාතන්ත්‍රවාදය නොමිලේ දෙන්න දක්‍ෂය.. මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ගියේ ඇෆ්ගනිස්ථානයටය… ඉන්පසු ඉරාකයටත්, ඊජිප්තුව හරහා ලිබියාවටත් දුන් වසන්තයේ පළ විපාක අළුතින්ම විඳින්නේ මාල දිවයිනයි… ලබ්බට තැබූ අත පුහුලට තබන්නට වැඩි දවසක් නොයන්නා සේම ඉන්දියාවට අත නොතැබිය හැකි තැන අරාබි වසන්තය ඊලඟට කැන්දාගෙන එන්නේ ලංකාවටයි… ලංකාවේ බංකොලොත් දේශපාලන පක්‍ෂ මෙවැනි වාසනාවක් ලැබේ නම් අම්මා අප්පා වුනත් විකිණීමට සූදානම් නිසා එවැනි අවස්ථාවක් ලැබුණොත් අපේ රට බංකොලොත් භාවයට ඇද දමා තමන්ට බලය ලබා ගැණීමට කිසිවකු පසුබට වන්නේ නැත…

මා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට විරුද්ධ නැත, මෑතකදී මා දුටු කොන්දක් ඇති ජනාධිපතිවරයෙකු වූයේ ඔහුය… ගෝඨාභය රාජපක්‍ෂ මා දුටු අති කාර්යක්‍ෂම රාජ්‍ය නිලධාරියෙකි.. බැසිල් රාජපක්‍ෂ මා දුටු හොඳම වැඩ කරුවෙකි.. ඔවුන්ගේ පෞද්ගලික චරිත හෝ පුද්ගලික කරුණු කාරණා කෙසේ වූවත්, මේ තිදෙන නොමැතිව අප මෑතකදී ලැබූ වසන්තය ලබන්නට නොහැකිව තිබුණි. සරත් ෆොන්සේකා යනු මෑකතදී පහළ වූ දක්‍ෂතම හමුදාපතිවරයාය… බොහෝ දෙනා තම පෞද්ගලික දේශපාලන දැක්ම නිසා පිළිගැනීමට අපොහොසත් වුවත්, මේ චරිත හතර සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නොවන්නට ත්‍රස්තවාදය පරාජය කිරීම, විදේශ බලවේගයන්ට නොනැමී යුද්ධය පවත්වාගෙන යාමට සහ අවසානයේ රට යුද්ධයෙන් මුදාගැනීම සිහිනයක් වන්නට තිබුණි. තම තමන්ගේ සහ අනුන්ගේ දේශපාලන න්‍යායපත්‍ර නිසාම රටේ අනාගතය ගැන සිතීම වෙනුවට තමන් ගැන සිතීම සහ තම දේශපාලන පැවැත්ම ගැන සිතීම නිසා මෙසේ මොවුන් විරසක වී තිබීම අභාග්‍යයකි.

යුද්ධය අවසාන වුනත් එල් ටී ටී ඊ සංවිධානය විදේශීයව ක්‍රියාත්මක වේ, දේශීයව එකල කටක් ඇරීමට පවා බිය වූ දෙමළ ජාතික සංධානය ශයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලමින් සිටිති.. දේශීයව විවිධ ආගමික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සිය අවස්ථාව එනතුරු මාන බලමින් සිටිති… සත්‍යය මෙයයි. මහින්ද රාජපක්‍ෂ රජය දැනුවත්ව සිටින හෝ නොදන්නා සත්‍යය මෙයයි. ඔවුන් එය නොදන්නවා යැයි සිතිය නොහැක. ඒ තරමට රටේ ඔත්තු සේවා ජාලය ප්‍රබලය. කොළඹ නගරය පුරාම 24/7 ආරක්‍ෂිත කැමරා 128 ක් ක්‍රියාත්මක වේ.. ගණන තවත් වැඩි විය හැක…

රට සංවර්ධනය කිරීමට රාජපක්‍ෂ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග බොහොමයකි. එසේ නමුත් අඩුපාඩු බොහොමයකි. ගාලු-කොළඹ අධිවේගී මාර්ගය  මෑතක දැකිය හැකි වූ සංවර්ධනයේ අග්‍ර ඵලය වුවත් හම්බන්තොට වරාය තවමත් සාර්ථක ප්‍රතිඵල ගෙන නොදුන් ව්‍යාපෘතියකි. මිහින් ලංකා වෙත මුදල් සම්භාරයක් පොම්ප කරනු ලැබූ සුදු අලියෙක්… ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද ප්‍රශ්න ය. නොරොච්චෝලේ විදුලි බලාගාරය මගින් දෙන ලාභය එය වසා දමා ඇති නිසා ලැබෙන පාඩුවට වඩා වැඩිය. විදුලිබල මණ්ඩලයේ සහ ඛණිජ තෙල් සංස්ථාවේ සේවක අතිතරික්තයක් තිබුණත් කෝටි ගණනක් අතිකාල දීමනා සඳහා ගෙවන බව දිවයින පුවත්පතේ සඳහන් වී තිබුණි… අධ්‍යාපනය හැම පැත්තෙන්ම අවුල්ය උසස් පෙළ මෙන්ම සාමාන්‍ය අධ්‍යාපනය ද එතරම් යහපත් නැත. නිළ ඇඳුම් ප්‍රශ්න මෙන්ම ගුරුවරුන් හරිහැටි ඉගැන්වීම නොකිරීම, සිසුන්ගේ සාමාන්‍ය පෙළ- උසස් පෙළ සමත් ප්‍රතිශතය අඩු වීම ආදී දැනෙන ප්‍රශ්න ද මෙයින් ප්‍රධාන වේ. දේශපාලනය සෑම ක්‍ෂෙත්‍රයටම රිංගා ගැනීම නිසා අධ්‍යාපන ක්‍ෂෙත්‍රයද විභාග සහ ප්‍රතිඵල ද යන මේ සියල්ල අවුල් ජාලයක් වී ඇතත්, අදාල ඇමතිවරු/නිලධාරීන් කිසිදු වගකීමක් භාර ගැනීමක් දක්නට නොලැබීම විමතිය මෙන්ම කළකිරීම ද දනවන්නකි.

මේ අතරතුරදී දැයට කිරුළ වැනි මහා ධනස්කන්ධයක් වැය කරමින් දැවැන්ත සංදර්ශන පැවැත්වීම ද ඊට සමගාමීව මහජනතාවට දැනෙන සහනයක් නොලැබීම නිසාම කළකිරීම වැඩි වී ඇත. (ගම් උදාව ඔබට මතක ඇතැයි සිතමි) අපරාධ වැඩි වීම මෙන්ම දේශපාලන හයි හත්තිය ඇති සහ සම්බන්ධකම් ඇති අය පහසුවෙන්ම දඬුවමින් ගැලවීම (තංගල්ලේ මිණීමැරුම් නඩුව – වාද්දූවේ තරුණයින් ගේ මරණ) ආදී කටයුතු නිසා ද පවතින රජය කෙරෙහි ජනතාවගේ කළකිරීම වැඩි වී ඇත. එසේම දිනෙන් දින වැඩිවන විවිධ පාතාල ක්‍රියා, සුළු දේටත් මිනී මරා ගැනීමට යාම වැනි මිනිසුන්ගේ මිනිස්කම් පිරිහෙන ක්‍රියාකාරකම් වැඩි වීම, (කරණ්දෙණියේ වෛද්‍යවරයා ඝාතනය, වෛද්‍යවරයෙකු විසින් තවත් වෛද්‍යවරයෙකුට වස පෙවීමට සැලැස්වීම, කහවත්තේ ඝාතන) නිසාද මිනිසුන්ගේ අසහනය තවදුරටත් වැඩි වී ඇත. මේ අතරම රජයෙන් සිදු වන සමහර අත්තනෝමතික ක්‍රියා (එළවලු වෙළඳුන්ට පෙට්ටි බෙදා දීම) වැනි දෑ නිසා ද රජය කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ අප්‍රසාදය පළ වෙමින් පවතී. රජයට සම්බන්ධ පාර්ශව වන ජාතික හෙළ උරුමයේ සහ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලකයන් රජයේ න්‍යාය පත්‍රයෙන් බැහැරව තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට යාමෙන් රජය අපහසුතාවයට පත් වීම ද මේ අතර වේ.

මේ සියල්ල අතරතුර ඉන්ධන මිල හදිසියේ ඉහළ දැමීම නිසා මේ දිනවල සිදුවන අලකලංචි සියල්ල තවමත් නිමා වී නොමැත.. ඇරඹුනා පමණි. මෙහිදී ආණ්ඩු විරෝධී පක්‍ෂ සහ සංවිධානවල ප්‍රධාන ඉලක්කයක් වන්නේ රජය පෙරලීමයි. තමන්ට හැකියාවක් නොමැති වුනත් රජය අස්ථාවර කිරීමට ඔවුන් සැදී පැහැදී සිටිති. විපක්‍ෂයේ පක්‍ෂවල ඇති අසංවිධානාත්මක බව රජය තම වාසියට හරවාගෙන සිටියත් මේ අයුරින් සැමදා සිටිය නොහැකි බව ඔවුන් ද දන්නවා ඇත. මාල දිවයිනේ සිදු වූ කැරැල්ල ආදර්ශයට ගෙන අපේ රටේ ද උද්ඝෝෂණ සහ වර්ජන සංවිධානයට දැනටමත් යම් යම් සංවිධාන කැස කවනවා ඇත. ඉන්ධන මිල වැඩි වීම මුළු ලෝකයටම බලපා ඇත… ඉරානයට පැනවූ සම්බාධක මුවාවෙන් ලෝක තෙල් වෙලෙන්දෝ සියළුම දෙනා තම මඩි තර කරගනිති.  උදාහරණයක් ලෙස මා සිටිනා පලාතේ සාමාන්‍ය පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 3.54 කි (ගැලුමට ලීටර 3.78 – ඩොලරය රුපියල් 119 ලෙස ගත් විට) පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 111 ක් වේ. කැලිෆෝනියාවේ මේ ගණන මීට වැඩිය… මෙහි මිල පාලනයක් නැති නිසා ඉන්ධන අලෙවිසල් වල විවිධ ගණන් වලට තෙල් විකිණේ. තවද තෙල් වර්ගයෙන් වර්ගයට (Brand) ගණන් වෙනස් ය. Shell වලට වඩා Chevron අඩුය, ඊට වඩා BP අඩුය… වැඩි ලොකු නම් නැති තෙල් වර්ග ඒවාටත් වඩා අඩුය… නමුත් වාහනයේ තත්ත්‍වය සලකා බලා නිසි වර්ගය යෙදීම තමන්ගේ යුතුකමකි. කෙතරම් තෙල් ගණන් ගියත් මෙහේ විපක්‍ෂය පෙලපාලි යන්නේ නැත. තමන්ට එය පාලනය කිරීම අපහසු බව දෙපැත්තම දන්නා නිසාය. එසේම මේ රටවල බස් ගාස්තු වැනි දේ තෙල් මිල ඉහළ යන වාරයක් වාරයක් පාසා ඉහළ යන්නේද නැත.. මේ නිසා සාමාන්‍ය භාණ්ඩ වල මිල එකවර ඉහළ නොයයි. නමුත් සතෙන් සතේ භාණ්ඩ වල මිල ඉහල යනු නිති පතා දැකිය හැකි රටාවකි…

බොහෝ දෙනා අමරිකාව සුර පුරයක් යැයි සිතා සිටියත් බරක් ඔබාමාට අපේ ජනපති මහින්ද රාජපක්‍ෂට තරම් බලතල නැත. අපේ රටේ නොමිලයේ ලබා දෙන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය ආදිය මෙහි බරපතල අවුල් ජාලයකි. සෞඛ්‍ය සේවය නම් එහෙම් පිටිම්ම අවුල් ජාලයකි. එය කොටින්ම මාෆියාවකි. ඖෂධ සමාගම්, රෝහල් සහ රක්‍ෂණ සමාගම් විසින් මිනිසුන් නොමරා මරනු ලැබේ. ඔබාමා කොතරම් වැඩේ හරිගස්සන්න බැලුවත්, ඒවායේ නියෝජිතයෝ කට්ටිය අල්ලාගෙන සියල්ල පාලනය කරති. වෙනකක් තබා කොකා කෝලා වැනි බීම වර්ග වලට දමන සීනි ප්‍රමාණය ගණනය කිරීමට ආහාර සහ ඖෂධ අධිකාරියට බලපෑම් කරන්නේ සීනි සමාගම් වලින් පත් කළ ඒජන්තවරුන් විසිනි. ඔවුන්ම අනෙක් අතට දියවැඩියාව සඳහා පර්යේෂණ වලට දායකත්‍වය සපයති.

නමුත් ප්‍රධාන ප්‍රශ්නය  වන්නේ ලංකාවේ රජය කොයි තරම් ජනතාව අතර අප්‍රසාදයට පත් වී තිබුණත්, ජනතාවට වෙනත් විකල්පයක් ඇද්ද යන්නයි. එක්සත් ජාතික පක්‍ෂයේ කොන්ද පණ නැති බව සහ අසංවිධානාත්මක බව නිසාම එයට සහාය දක්වන්නට මහජනතාව කැමැත්කත් දැක්වූවත්, හරි හැටි සංවිධානාත්මක භාවයක් නැති වීමම එය උපන්ගෙයිම මළ දරු උපතක් බවට පත් වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ පෙර තිබූ ආකර්ෂණීය භාවය ගිලිහී යාම සහ අභ්‍යන්තර අර්බුද නිසාම එහි ද සංවිධානාත්මක භාවයක් දැකිය නොහැක. එසේම අසාර්ථක වූ විප්ලව දෙකකට දායක වීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසනීය භාවය ද තරුණයන් අතරින් ගිලිහී ගොස් තිබීම මේ නොහැකියාවට හේතු වී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධාන විරුද්ධවාදියා වූ සරත් ෆොන්සේකා මහතාට සමාජයේ සමහර කොටස්වල ජනතා ප්‍රසාදය හිමි වූවද, දැකට පවතින තත්ත්‍වය අනුව ඒ මහතාටද යමක් කිරීම අපහසු වී ඇත. එසේනම් ජනතාවට ඇති විකල්පය කුමක්ද ?

ජනතාවට පැහැදිලි විකල්පයක් නැත. මේ බව දන්නා නිසාම රජය පාළු ගෙයි වලං බිඳින ගොනෙකු ගේ තත්ත්‍වයට පත් වී ඇත. මැති ඇමතිවරු තමන්ට  රිසි පරිදි ක්‍රියා කරති, තමන් කැමති කැමති දේ කරති, විරුද්ධතාවයක් පැමිණියත් බලය පාවිච්චි කර එය සමනය කිරීම සුළු දෙයකි. මේ නිසාම රජය අප්‍රසාදයට පත් වුවත්, තමන්ගේ පැවැත්ම ඇති බව දන්නා නිසා ඔවුන් තමන්ට රිසි පරිදි බාල් නටති. රජය පෙරලීමට කිසිවකු නොපැමිණෙන බව දන්නා සේම රජය ද එවැනි අවස්ථාවකට මුහුණ දීමට සූදානම් බව පෙනෙනුයේ “ආණ්ඩුව පෙරලීමට අවශ්‍යනම් ඡන්ද පොලේදී එය සිදු කරන“ ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෑතකදී කළ ප්‍රකාශයකිනි. එසේ නම් අපට ආණ්ඩුව පෙරලීමට සිදු වන්නේ නැත, එසේම අපට විකල්පයක් ද නැත. 2/3 ක ජනතා වරමක් ගත් රාජපක්‍ෂ රජය ජනතාවට දැනෙන යමක් කරාවි යැයි ජනතාව ඇස් කන් අයා බලා සිටි කාළය ඉක්ම ගොසිනි. අප පැතූ ක්‍ෂෙම භූමිය රජයෙන් අපට නොදෙන බව ජනතාවට පසක් වී හමාරය.

Is there a light at the end of the tunnel ?

එසේ වුවත්, පිටරටකින් අපට දෙන ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපට පලක් නැත. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ එවුනට අවනත නොවන ආණ්ඩුවක් පළවා හැර ඔවුන්ගේ පදයට නටන නායකයෙක් පත් කර ගැනීමයි. ඔවුන් වසන්තය උදාකර දුන් හැම රටක්ම අවුලෙන් අවුලට පත් වී නන්නත්නාර වී ඇත. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අපට ඇවැසි නැත. අප කළ යුත්තේ අපේ එවුන්ට හරිමග යන්නට මඩු වලිගෙන් තලා හෝ හදා ගැනීමයි… එහෙත් අපට යමක් කරන්නට නායකත්වයක් දෙන්නට කෙනෙක් නැත… ඉන්න එකා හිර ගෙදරය. ඒකාට මැරෙනතුරු කවදාවත් එලියට එන්න නම් හම්බ වෙන්නේ නැත…..