Daily Archives: මැයි 5, 2012

2012 මැයි 06 : ඇල්කෙමියාගේ වෙසක් දින පණිවුඩය………..අනිත් එවුන් මරා දමා හෝ බුද්ධාගම රැක ගනිමු…..


සිංහල බෞද්ධ සියළු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා. බුදුන් වහන්සේ බුද්ධත්‍වයට පත් වී වසර 2600 ක් ගත වූ මේ අවස්ථාවේ අපේ සිංහල බුද්ධාගම වෙනත් ආගම්වල ක්‍රියාකාරකම් නිසා ඉතා අන්තරාකාරී තත්ත්‍වයකට පත් වී ඇත. මෙසේ බුද්ධාගමට සිදුවන අහිතකර ක්‍රියාකාරකම් නිසා තව අවුරුදු 10 කින් පමණ මුහුණුපොතේ ඇති බුද්ධාගම් කාරයන් හැරෙන්නට බෙහෙතකටවත් පරම පිවිතුරු සුපිරිසිදු සිංහල බුද්ධාගම්කාරයෙක් සොයාගැනීම අපහසු වෙනු ඇත.

මූලධර්මවාදී ක්‍රිස්තියානිකාරයන් මුදල් ලබා දී බුද්ධාගම්කාරී දුප්පත් මිනිසුන් ඒ ඒ නිකායවලට බඳවාගනිති. උන් අපේ අහිංසක දුප්පත් මිනිසුන්ට සල්ලි දී, අඳින්න ඇඳුම් පැළඳුම් දී, කන්න බොන්න අරන් දී, ළමුන් පාසල් යවා උන්ගේ සියළුම මූලික අවශ්‍යතා සපුරා දී උන්ගේ ආගම් වලට බඳවා ගනිති. නෝ ලිමිට් අයිතිකාර මුසල්මානුවා සිංහල ජාතිය නැති භංගස්ථාන කරන්නට වස දැමූ ටොපි බලෙන් කවා සිංහළුන් වඳ මිනිසුන් සමූහයක් බවට පත් කරති. ඒ මුසල්මානු තරුණයන් සිංහළ තරුණියන් බලෙන් රැගෙන ගොස් විවාහ කරගනිති. අපේ අගමැතිතුමා සර්ව ආගමික සහජීවනයක් ගැන නන් දොඩවයි. මෙය සිංහළුන්ගේ රටයි. එක දෙමලෙක්වත්, එක මුසල්මානුවෙක්වත්, හෝ එක බර්ගරයෙක්වත් නොමැති සුපිරිසිදු සිංහල රටක් බවට මෙය පත් කළ යුත්තේමය. මේ රටේ පන්සල් හැර වෙනත් ආගමික සිද්ධස්ථාන තිබිය යුතු නැත. පන්සල් අසල මත්පැන් හල් තිබුණාට කමක් නැත්තේ ඒවායෙන් ආගමික දර්ශනයට බාධාවක් නැති නිසාය. නමුත් පල්ලි තිබීම සුදුසු නැත. ඒ නිසා සියළුම පල්ලි කඩා දැමිය යුතුය. හින්දුන්ගේ දෙවියන් වූ කතරගම දෙවියන්ට අයත් යැයි කියනා කතරගම දේවාල සහ ඒ ආශ්‍රිත සියළුම දේවාල කඩා බිඳ දමා ඒවායේ පන්සල් පිහිටවිය යුතුය. බෙල්ලන්විල පන්සලේ ඇති දේවාලද, කඩා දැමිය යුතුය.  එවිට බුද්ධාගම පමණක් අපේ රටේ ඉතිරි වේ.

බුද්ධාගම පමණක් අපේ රටේ ඉතිරි වූ කළ මිනිසුන් පන්සිල් රැකීමට නොව දිනපතා අටසිල් සමාදන් වීමට පටන් ගනු ඇත. වෙනත් ආගම් අපේ රටේ මිනිසුන්ගේ සිත් සතන් වලට විශබීජ ඇතුළු කිරීම නිසා පෝයට පන්සලට යන තරුණ පිරිස් පවා වැඳුම් පිදුම් කිරීම වෙනුවට පන්සලට එන තරුණියන්ගේ අඟපසඟ පිළිබඳ සැලකිළිමත් වෙති. මේ ආභාශය ලැබී ඇත්තේ පිටරට පල්ලිවලට යන තරුණියන් කොට ඇඳුම් ඇඳීම  පෙන්වන ඇමරිකානු රූපවාහිනී නාටක මාලාවන්හි නරක ආදර්ශ ගැනීම නිසාය. ඒ නිසා ඇමරිකානු දෑ තහනම් කළ යුතුය. මුස්ලිම් තරුණියන් ඇඟ වැහෙන්න ඇඳුම් අඳිනවාක් මෙන්, සිංහල තරුණියන්ද ශරීරයේ කිසිදු කොටසක් නිරාවරණය නොවන පරිදි ඇඳුම් ඇඟලීමෙන් අපේ සංස්කෘතික සභ්‍යත්‍වය ඔප් නංවාගත හැකිය. මඳකට සිතා බලන්න, ලංකාවේ හෝ වෙනත් රටක මුස්ලිම් තරුණියක් දූෂණයට ලක් වී යැයි ඔබට කිසිදා අසන්නට ලැබෙනවාද ? නැත. එසේ වන්නේ ඔවුන් අඟපසඟ පෙනෙන සේ ඇඳුම් ඇඳගෙන නොයන නිසා පිරිමින්ගේ හැඟීම් ඇවිස්සීමට ඉඩක් නොදීමයි. ඒ නිසා පිරිමින් ඔවුන් කෙරෙහි රාගික සිතිවිලි පහළ කර නොගනී. මෙය ආදර්ශයට ගෙන සිංහළ තරුණියන්ද මුහුණ පමණක් නිරාවරණය වන ඇඳුම් ඇඳීම අනිවාර්යය කළ යුතුය.

ජනතාව යහමඟට හැරවීමට කළ හැකි දේ……

රට වටා හන්දියක් හන්දියක් ගානේ බුදුපිළිම ස්ථාපනය කළ යුතුය. බුදුරුව දකින සිංහළ ජනයාගේ සිත් සතන් සැදැහැවත් බවින් ඉතිරී පැතිරී යාම නිසා අකුසල් සිත් පහළවීමේ ඉඩකඩ ඇහිරේ. මෙවිට ජනයා පවින් ඈත් වේ. පෘතහ්ජන මිනිසා පස් පවින් ඈත් කිරීම තරමක් අපහසුය. මේ නිසා සතුන් මැරීමට ඇවැසි ජනයා හට සිය අවශ්‍යතා සපුරාගනු වස්, සුවිශේෂී දඩ බිම් ඇතිකර ඒවායේ පමණක් සතුන් මැරීමට අවසර ලබා දිය යුතුය. මෙය බලා කියා ගැනීමට පස්පවින් වැලකෙන ආදර්ශමත් තරුණ නායකයෙකු වන මුතුහෙට්ටිගම මහතා පත් කළ යුතුය. එමගින් අනෙක් පුද්ගලයන්ට ප්‍රාණඝාතය පිළිබඳ සිතුවිලි පහළ වීම වලක්වාගත හැකිය. සොරකම් කිරීම නීතිගත කළ යුතුය. රටේ බොහොමයක් දෙනා සිය ජීවිකාව කරගෙන යන්නේ හොරකමින් නිසා එය වැලැක්වීමෙන් සිදුවන අකුසල කර්මය වලක්වාගැනීම සඳහා සොරකමට දඬුවම් කිරීමෙන් වැලකී සිටිය යුතුය. කුඩා කළ අප යමක් නිතර නිතර කිරීමට ආශාවක් දක්වන්නේ එය කිසිවකු විසින් වලක්වනු ලැබුවහොත් පමණි. හොරකම වලක්වන්නේ නැතිනම් හොරාට වුවද එය කිරීමට ඇති ආශාව නැතිවී යනු ඇත. මේ නිසා හොරකමක් දුටුවද හොරාට එය කරගෙන යාමට ඉඩ දීමෙන් හොරාටම එය එපා වී හොරකම් නැත්තටම නැති වී යනු ඇත. කාමයෙහි වරදවා හැසිරෙන්නේ එහි හරිහැටි හැසිරීමට නොදන්නා අය වේ. මේ නිසා ලිංගික අධ්‍යාපනය පළමු වසරේ සිට ලබා දිය යුතුය. ලිංගික අසහනකාරයන්ට පිහිටවීම සඳහා ඒ සඳහා පුරුදු පුහුණු කළ දැනට අප්‍රසිද්ධියේ රැකියාව කරන 40,000 ක් දෙනා එක් ප්‍රදේශයකට එකතුකර ඔවුනට නිසි පුහුණුවක්, නිසි පිළිගැනීමක් ලබා දී ලිංගික ගම්මානයක් ඇතිකළ යුතුය. එය පාලනය කිරීම සඳහා ජ්‍යෙශ්ඨ ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක්, කැබිනට් නොවන ඇමතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම් වරයෙක් ආදී වශයෙන් සුවිශේෂී කණ්ඩායමක් පත් කළ යුතුය. වෙනත් ඇමතිවරුන්ටද අවශ්‍ය නම් මේ සඳහා ස්වෙච්ඡාවෙන් සහාය දීමට අවස්ථාව ලබා දිය යුතුය. මේ මගින් සිංහල ජාතික බෞද්ධයන්ගේ ලිංගික අසහනය දුරු කර ඔවුන් කාමයෙහි වරදවා හැසිරෙන්නේ නැති පිරිසක් කළ හැක. මුසාවාදය අදත්තාදානය තරම් ම සමාජයේ මුල්බැසගිය කාරණයක් නිසා පන්සිල් පද පහෙන් එය ඉවත් කළ යුතුය. රටේ ජනාධිපතිතුමාගේ සිට කසළ ශෝධකයා දක්වා සියළුම දෙනා මුසාවාදය තදින් ක්‍රියාත්මක කරන නිසා එය නැවැත්වීම ජනාධිපතිතුමාටත් කරන අවමානයක් විය හැකි බැවින් ධර්ම සංඝායනාවක් පවත්වා මුසාවාදය පන්සිල් පද වලින් ඉවත් කළ යුතුය. මතට තිත වැඩසටහනට අනුව දැන් අපේ ධර්මද්වීපය සුරාමතින් තොර ස්ථානයක් බැවින් එයද සමාදන් වීමේ අවශ්‍යතාවයක් පැණ නොනඟී. ඒ නිසා රාජ්‍ය ඉස්කාගාර සංස්ථාවත්, ලයන් බියර් සමාගමත් නිපදවන එතනෝල් ප්‍රමාණය ආසවනය කර වාහන ඉන්ධනවලට එකතුකර 10% Ethanol mixed gasoline තනා ජනතාවට ඉන්ධන සහනයක් ලබා දිය හැකිය. මත් වීමට අවශ්‍යම පුද්ගලයන් සිටී නම් (දැන් එහෙම එකෙක් බෙහෙතකටවත් සොයා ගැනීම උගහටය) ලඟම ඇති ෆාමසියෙන් කැහි බෙහෙත් බෝතලයක් ගැනීමට බෙහෙත් තුණ්ඩුවක් ලියා දීම සුදුසුය.

නිර්දේශ.

  • බුදුන් වහන්සේගේ ධර්මය දැන් වසර 2500 කටත් වඩා යල් පැන ගිය එකක් නිසා, පිටිදූවේ සිරිධම්ම, ඒ සෝරත, කිරිබත්ගොඩ ඥාණානන්ද, උඩුවේ ධම්මාලෝක, ඉනාමළුවේ සුමංගල, මුරුත්තෙට්ටුවේ ආනන්ද,  දෙපානම දෙවුරම් වෙහෙරේ අධිපති සුමංගල හිමි වැනි මොඩර්න් ආගමික ශාස්තෘවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර අපට ගැලපෙන අයුරින් බුද්ධාගම නවීකරණය කළ යුතුය.
  • රටේ සියළුම පල්ලි, කෝවිල් කඩා දැමීම සඳහා සිහළ උරුමය සහ සිංහල බෞද්ධ සංවිධාන නියෝජිතයන්ගෙන් යුත්, මහාචාර්ය නලින් සිල්වා මැතිතුමාගේ අධීක්‍ෂනයෙන් යුත් හමුදාවක් නිර්මාණය කිරීම කළ යුතුය.
  • රට වටා ඇති නිධාන සඟවා තිබීම නිසා සාමාන්‍ය පෘතහ්ජන මිනිසුන්ට තෘෂ්ණාව ඇතිවිය හැකි බැවින් විශේෂ කාර්ය බලකාය වැනි දැන් වැඩි වැඩක් නැති ආරක්‍ෂක අංශ සහභාගී කරගෙන රට වටා ඇති නිධන් එකතු කර මහ බැංකුවේ තැන්පත් කිරීමෙන් මිනිසුන්ගේ තෘෂ්ණාව දුරු කරන ගමන්ම රටේ රත්‍රං සංචිතය ද වැඩි කරගෙන එක ගලකින් කුරුල්ලන් දහ දොලොස් දෙනෙක්ම මරා ගැනීමට පුළුවන.
  • රටේ ආගමික කටයුතුවල පුනර්ජීවය ඇතිකිරිමට කැළණිය පුරවරය ධාර්මික පුරවරයක් කිරීමට මූලිකව ක්‍රියා කළ අති පූජනීය ආචාර්ය මර්වින් සිල්වා සිල්වතානන්ට බෞද්ධාගම සුරැකීමේ අමාත්‍යාංශය භාර දිය යුතුය.
  • ගම නැගුම, රට නැගුම, දිවි නැගුම, වැනි අති සාර්ථක ව ක්‍රියාවට නැගුන ආදර්ශමත් ක්‍රියාකාරකම් වලට සමගාමීව ආගම නැගුම නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුය. මේ අනුව සෑම ගමකටම පන්සල් තුනක් වශයෙන් පන්සල් ගොඩ නැංවීම කළ යුතුය. රටේ මිනිසුන්ගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ක් වන නිසාත්, මසකට වියදම රුපියල් 7500 ක් වන නිසාත් මිනිසුන්ට දාන මාන, පිංකම් ආදී දේ කිරිමට ඇතිපදම් මුදල් ඇති නිසා ගමකට පන්සල් තුනක් තිබීම ඉතා වැදගත් යැයි මට හැඟේ.

මේ නිර්දේශිත කරුණු ක්‍රියාත්මක කර, ශ්‍රී ලංකාව ආසියාවේ ධර්මිෂ්ඨතම රාජ්‍යය කිරීමට අපට පුළුවන් වනවා ඇත. ඉන් පසු අපට යුරෝපයට ධර්මය ණයට දීමටත්, ඇමරිකානුවන්ට ධර්මය කියාදී මානව හිමිකම් රැකීම ධර්මානුකූලව කරන අයුරු කියාදීමට හැකි වනවා ඇත. එපමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ධාර්මිකව දශරාජ ධර්මයෙන් ලොව පාලනය කිරීම පුරුදු පුහුණු කිරීම අපට භාර වෙනවා ඇත. ඒ සිදු කරන ලද සේවය නිසා අපේ නායක තුමාට පිං පියා යන ගෞරව නාමය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මංකි බූන් මහතාට අත්සන් මිලියන 21.5 ක පෙත්සමක් යැවීමට රටේ ජනතාව දිවා රෑ නොබලා කොටුව ඉස්ටේසම ඉදිරිපිට පෝලිම් ගැසී සිටිනු ඇත. ඒ මිනිසුන්ට දිවා රෑ නොතකා නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට සත් ගුණවත් ව්‍යාපාරික ගැමුණු විජේසූරිය මැතිතුමා ප්‍රමුඛ පෞද්ගලික බස් සංගමය කටයුතු යොදනු ඇත. ඒ පෝලිම් වල දුක් විඳින ජනතාවට ආහාර සැපයීමට දඹුල්ල එළවළු වෙළඳ තැරැවුකරුවන්ගේ සංගමයේ මුදලාලිවරුන් විසින් සුප් දන්සැල් ලබා දෙනු ඇත.

මෙසේ ජනතාව ආගමානුකූල වන නිසා වැලිකඩ බන්ධනාගාරය වසා දැමීමට සිදු වනවා ඇත. එය කෞතුකාගාරයක් කර අතීතයේ දඬුවම්ක්‍රම පිළිබඳ දරුවනට ප්‍රදර්ශනය කරන ස්ථානයක් බවට පත් කරනවා ඇත. තවත් දේ අනන්තයක් ඇත…. කියාගන්න විදියක් නැත…

බලන්න, රටම ධර්මද්වීපයක් වන හැටි.

වෙසක් සිහිලෙන් මුළු රටම නැහැවේවා….. ඔබ සැමට ප්‍රීති වෙසක්.