Daily Archives: ජූලි 16, 2012

සමුගන්නට අවසරයි……. ටික කලකට….


මැයි මාසෙ කියන්නෙ මගේ ජීවිතයේ වෙනස්කම් ගොඩක් සිදුකළ මාසයක්. මගේ පශ්චාත් උපාධි පර්යේෂක තනතුරේ වැඩ අවසන් වෙන්නට තිබුණේ මැයි 31 වනදින. එදායින් පස්සේ මට රැකියාවක් නැහැ…. ඒ නිසාම ලෝකෙ හතර වටේ තියෙන මට සුදුසු යැයි හැඟුන රැකියා හැම එකකටම අයදුම් කරන්න මම තීරණය කළා. ලංකාවෙන් ඇමරිකාවට ආපු මට වෙනත් රටකට යන්න බැහැ කියන හැඟීම තිබුණෙ නැහැ. මම ලෝකයටම අයිති මිනිහෙක් කියලයි මගේ මහාචාර්යවරයෙක් මට කිවුවෙ. ආචාර්ය උපාධියක් ගත්ත කෙනෙක් ලෝකයට අයිති වස්තුවක්. එක රටකට – එක ගමකට – එක පවුලකට අයිති වස්තුවක් නොවෙයි. ඔහුගෙ/ ඇයගෙ සේවය ලැබෙන්නෙ එක පරාසයටක නෙවෙයි. මුළු ලෝකයටම. ඒ නිසාම මම ලෝකයට අයිති වස්තුවක්…. ඉතිං මමත් ලෝකයේ ඕනම තැනකට යන්න සූදානම් වුනා. ඒ අතරෙයි චිකාගෝ වල ඉලිනෝයි විශ්ව විද්‍යාලයේ නැවතත් පශ්චාත් උපාධි පර්යේෂක තනතුරක් ලැබුණෙ.. අළුත් රසායනාගාරයක අළුත්ම පර්යේෂණයක පර්යේෂක කණ්ඩායම මෙහෙයවන තනතුරක්.. නරකම නැති වුනත් ඒ වනවිටත් කරමින් හිටියෙ ඒ වගේම දෙයක් නිසා ඒ තනතුර හැර වෙනත් රැකියාවක් කළොත් හොඳයි යන සිතිවිල්ලත් හිතේ කොණක තිබුණා. ඒ වගේම දැන් දැන් මේ රටේ සිදුවන ආර්ථික පරිහාණිය සහ ජීවන තත්ත්‍වයේ පහළ යාම නිසා පොඩි කළකිරීමකුත් නොතිබුණාම නොවෙයි.

මේ අතරෙ ඇල්කෙමිච්චි සොයා දුන් තොරතුරක් මත මම ජර්මනියේ විශ්ව විද්‍යාලයකුත් රසායනික ද්‍රව්‍ය නිපදවන සමාගකත් 50 : 50 හවුල් ආයතනයක් වන රසායනාගාරයක පර්යේෂණ විද්‍යාඥ තනතුරකට අයැදුම් කළේ ඒ ආයතන දෙකම ජර්මනියේ ඉතා ප්‍රසිද්ධ ඒ වගේම බොහෝ පැරණි ආයතන දෙකක් නිසාමත්, ඉන් අනතුරුව ලැබෙන අවස්ථාවල අගය වැඩි නිසාමත්. මේ තනතුර අවුරුදු දෙකක් වුනත්, ඉන් පසු ලැබෙන අවස්ථා බොහෝ දුරට මගේ සිහින සැබෑ කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක්. ඒ නිසාම මම ඒ ආයතනයට අයැදුම් කළා. සතියක් යනවිට එහි වූ මහාචාර්යවරයෙකු මට දන්වා සිටියේ මගේ අයැදුම් පත්‍රය ඔවුන් සලකා බලන බවයි. ඊටත් සතියකට පසු ඔවුන් මගේ මහාචාර්යවරුන්ගෙන් මා නිර්දේශ කරන ලිපි (reference letters) ඉල්ලා සිටියා. ඒ සියල්ල යවා දින කිහිපයකින් මා බලාපොරොත්තු තබාගෙන හුන් ලිපිය පැමිණියා. ඒ.. මාව සම්මුඛ පරීක්‍ෂණයකට කැඳවන බව…. නමුත් එතැන ලොකු ප්‍රශ්නයක් තිබුණා. මගේ වීසා ලිපි…

මගේ ශිෂ්‍ය වීසා මා මැයි 31 වන දින සේවය හමාර කරන විට අවලංගු වනවා. නමුත් දින 60 ක සහන කාළයක් තිබෙනවා. ඒත් වෙනත් රැකියාවක් අතේ ඇතිනම් පමණයි. මේ නිසා මා තීරණය කළා ඔවුන් සමග අන්තර් ජාලයේ Skype හරහා සම්මුඛ පරීක්‍ෂණය පවත්වන්නට. නමුත් ඔවුන් කැමති වුනේ නැහැ. ඔවුන් මගේ ගමන් වියදම් ගෙවා මාව එහි ගෙන්වා ගන්න කටයුතු කළා. නැවත ඇමරිකාවට පැමිණීම තරමක් අවදානම්කාරී ගමනක් වුනත්, මගේ මහාචාර්යවරු බොහෝ දෙනා පැවසුවේ මේ අවස්ථාව අත නොහැරිය යුතු බවයි.

යමක් සිදුවන්නට තිබේ නම් එය සිදු විය යුතුමය යන කියමන සත්‍ය බව මම හැමදාම විශ්වාස කරන කෙනෙක්. ගමනට ජර්මන් වීසා ගන්න තානාපති කාර්යාලයේ දිනයක් ගන්න ගියාමයි තරු පෙණුනෙ. ළඟම ඇති දිනය මැයි 31 – මට සම්මුඛ පරීක්‍ෂණය යෙදිලා තියෙන්නෙ 25 – මට 23 වනදා වත් එහේ යන්න ඕන.. අද දිනය 11 යි. කෙ‍සේ හෝ තානාපති කාර්යාලයට ඇමතුමක් රැගෙන මගේ ප්‍රශ්නය කී විට ඔවුන් 14 වන දින පැමිණෙන්නැයි දැන්වුවා. සියල්ලටම තිබෙන්නේ දින දෙකයි. ගුවන් ටිකට් පත්, හෝටල් ආදිය වෙන් කරවා ගන්නවත් විදියක් තිබුණෙ නැහැ, සති අන්තය නිසා ක්‍රෙඩිට් කාඩ්පත් වලට මුදල් මාරු කරන්නවත් ක්‍රමයක් තිබුණෙ නැහැ. කොහොම වුනත් 14 වනදා තානාපති කාර්යාලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. දින 10 කින් නැවත පැමිණෙන විට අදාල ලිපි ලේඛණ රැගෙන එන ලෙස.. නමුත්, 24 ? මැයි 21 වන දින උදේ තානාපති කාර්යාලයට ඇමතුමක් ගත් විට වීසා සකසා අවසන් බව දැන්වූවා. පැය තුනක් වාහනය පැදගෙන ගොස් විසා ලබා ගෙන නැවතත් පැය තුනක් පැදගෙන ආපසු ආවා. කෙසේ හෝ 22 සවස ගුවන්ගත වුනා.

ජර්මනියට යනකොට 23 දහවල්.. එතැනින් කෝච්චියක් අරගෙන (සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව කෝච්චියක්ම ගත්තා) හයිඩ්ල්බර්ග් නගරයට යනවිට හවස 1.00 යි. ඒ නගරය හරිම අපූරු තැනක්… එතැන  තොරතුරු වෙනම සටහනකින් කියන්නම්. එතැනින් බස් රථයකට නගින්න සිටින විට ඉංග්‍රීසි කතා කරන ජර්මන් තරුණයෙකු හමු වුනා. ඔහු සමඟ සාකච්ඡාවෙන් බොහෝ දේ දැනගත්තා.. කොහොම වුනත් මේ නගරයේ වැසියන් තරමක් ඉංග්‍රීසි කතා කරන්න හැකි අය… හෝටලයට ගිහින් නා කියාගෙන කෑම කන්න පහලට බැස්සා. හෝටලේ පහල තට්ටුවේ ඇත්තේ බේකරියක්.. බේකරියෙ තියෙන්නෙ බොහොමයක් ලංකාවෙ කෑම වගේ දේවල්. බනිස් ජාති දෙකතුනකුත් අරගෙන එතැනම ඇති පාක් එකේ බංකුවකට වෙලා කෑම කනකොට තමයි එක මහාචාර්යවරයෙකුට “මාව හමු වෙන්න අවශ්‍යයි දැන්මම” කියලා පණිවුඩයක් ආවෙ…  ඉන්පසු මම හෝටලේ ඉඳලා ඇවිදගෙනම අදාල රසායනාගාරයට ගියා.

එතැන හරිම සුන්දර තැනක්.. ඉන්න පර්යේෂණ විද්‍යාඥයින් සියළුම දෙනා විවිධ රටවල – විවිධ ජාතීන්ට අයත් අය.. ඔක්කොම හරි හරියට වැඩ… බොහොම නිදහස්… එතැන සිදුවන පර්යේෂණ පිළිබඳ, ආගිය තොරතුරු අදාල මහාචාර්යවරයා සමඟ කතා කරගත්තා. ඔහුට මගේ සම්මුඛ පරීක්‍ෂණයට එන්න වෙන්නෙ නැති නිසායි ඔහුට මාව හමු වෙන්න අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින් ඒ කතා බහ අවසාන කරලා රෑ හතට විතර එළියට බැස්සා රෑට කන්න… කඩවල් බොහොමයක් වහලා… ජර්මනියේ එහෙමලු… හැතැක්මයක් විතර ඇවිදලා (ඇවිදින්න ආසයි.. හරිම ලස්සන පලාත – මාලිගාවක් තියෙනවා ගඟෙන් එහා – වැඩි විස්තර පසුවට) තායි අවන්හලකට ගිහින් බඩ පිරෙන්න කෑවා… ඉන් පසු හෝටලයට ඇවිත් ඊලඟ දවසෙ තිබෙන දේශනයට සහ සම්මුඛ පරීක්‍ෂණයට සූදානම් වුනා.

ඊලඟ දවසෙ සම්මුඛ පරීක්‍ෂණය : මමත් තවත් බ්‍රිතාන්‍ය ජාතික ෆිලිප් ජොලී නම් තරුණයාත් තම තමන්ගේ රසායන විද්‍යා දේශන පැවැත්වූවා…. එතැන හිටපු මහාචාර්යවරයෙක් නම් වැල නොකැඩී ප්‍රශ්න ඇහුවා.. කොහොම හරි ජාමෙ බේරගෙන පසුව පැවති සම්මුඛ පරීක්‍ෂණයටත් මුහුණ දුන්නා. ඉන් පසුවයි සිතට නිදහසක් ආවෙ…  ඉන් පසුව රසායනාගාරයේ අනෙකුත් අයත් සමඟ දහවල් කෑමට ගියා…. සවස හෝටලේට ගිහින් පොඩි නින්දක් දාලා වටපිට බලන්න යන්නයි හිටියෙ… ඇහැ ඇරෙනකොට රෑ නවයයි. මොන ඇවිදිලිද ?…. දවල්ට කාලා ඉතිරි වෙච්ච පිට්සා එකේ ඉතිරි ටිකත් ගිලදාලා ඉවරවෙලා මහන්සිය යන්නත් එක්ක ආයෙම නිදා ගත්තා… ඊට පස්සෙන්දා උදෙන්ම ෆ්‍රැන්ක්ෆර්ට් බලා කෝච්චියෙන් ගිහින් 1.45 ට නැග්ගා ගුවන්යානයට.. 3.45 ට ෆිලඩෙල්ෆියා වලින් බහිනකොට පැය දෙකහමාරෙ චිත්තරපටි තුනක්ම බලලා ඉවර කළා…

ඊට දින දෙකතුනකට පසුව මම බලාපොරොත්තු වෙච්ච ආරංචිය ලැබුණා… ඒ තමයි මාව ඒ තනතුරට තෝරා ගනිපු බව… ඉන් පසුව සියල්ල වෙනස් වුනා.. මාසයක් ඇතුළත සියල්ල වෙනස් වුනා… ඉතින් මම අළුත් රටක පදිංචියට යනවා. මේ දිනවල බොහෝ වැඩ අධික වූවා… අවශ්‍ය දේ තෝරන්න, අනවශ්‍ය දේ ඉවත් කරන්න…පෙට්ටි පැක් කරන්න… තියෙන දේවල් අරගෙන යන්න.. ආදී වශයෙන්… ඒ රැකියාව ගැන පසුව විස්තර කියන්නම්. බොහෝ දේවල් රහසිගතයි… ඒ නිසා වැඩිය විස්තර කියන්නත් අමාරුයි…..

ඇමරිකාවෙ ජීවිතයෙ පරිඡෙදයට කොමාවක් තබලා ඉතින් අපි හෙට ගුවන්ගත වෙනවා… තව දින කිහිපයක්  හෝ සතියක් පමණ යනතුරු අපේ මට අන්තර්ජාලයට එන්න බැරි වේවි. ඉතිං අපි පසුව හමුවෙමු…. කවදා හෝ අන්තර්ජාලයට සම්බන්ධ වනතුරු……… සමු ගන්නට අවසරයි…. ආයේ ආපු දවසක හැමදාම වගේ කියවන්න එන්න….. ලංකාවට ආපු දවසක අපි කතා කරමු….. සමහරවිට හමු වෙන්නටත් පුළුවන් වේවි…. ගිහින් එන්නම්…