Daily Archives: ඔක්තෝබර් 4, 2011

2011 ඔක්තෝබර් 04 : අපේ පොලීසිය අපි රැකගමු…………


පණ පිටින් ආපහු එන්න ඕන නම් පොලීසියට හෝ රජයේ රෝහලකට යන්නට එපා ය කියා ඉස්සර ලංකාවේ කට කැඩිච්ච කියමනක් තිබුණි… දැන් නම් ඒ කියමන ඩිංගක් සංශෝධනය කරන්නට වෙලා ඇත…රෝහලකට ගියොත් අඩුම වශයෙන් කපන්නට තිබෙන කකුල ඉතුරු කරගෙන වැරදි කකුල කපාගෙන හෝ ගෙදර එන්නට පුළුවන් නිසාය. පොලීසියකට ගියොත් එසේ නැත.. ප්‍රශ්න කරත්දී කොහේ හෝ හංගා ඇති මල ඉලව් ආයුධ වගයක් සිතට පැමිණේ…… ඉන්පසු පොලීසියට ඒ ආයුධ බලෙන්ම පෙන්නන්ට එක්කගෙන ගොස් මාංචු ද අත්ලා ඒ ආයුධෙන් ම පොලීසියට වෙඩි තියන්නට සිතේ… පොලීසියේ මහත්වරු තම ජීවිතයට ඇති ආදරේට අර අපරාධකරුවාට වෙඩි තබයි… සැකකරුවා, පොලීසිය තමන්ගේ ඔලුවට වෙඩි තබාවි යැයි සැකෙන් අනෙක් පැත්ත හැරී ඔලුවෙන් හිටගනී… මුලින් අපරාධකරුවාට තුවාල පමණක් කිරීමට සිතන පොලීසිය ඔහු ඔලුවෙන් සිටගන්නේ නොමැති බවට සැක පහළකරගෙන කකුල් දෙකට වෙඩි තබයි.. අවාසනාවක මහිම… කකුල් දෙක තිබිය යුතු තැන හිස ඇති අපරාධකරුවා ( එක වෙඩි පහරින්ම) මිය යයි…….

ප:ලි:  අපරාධකරුවා මිය යන්නේ වෙඩි වැදී නොව අපරාධකරුවා හා පොලීසිය අතර වූ සංනිවේදන දුර්වලතාවයක් (Miscommunication ) නිසාය….

තවත් අවස්ථාවක අපරාධකරුවා ගඟක් අයිනේ ඇති ආයුධ පෙන්වන්නට යන්නට සිතේ….මාංචු ද අත්ලාගෙන සිටින මේ අපරාධකරුවා “නුඹලාට මාගේ පිහිණීමේ හැකියාව පෙන්වන්නෙමැ” යි පුරසාරම් දොඩා ගඟට පැන එගොඩට පීනන්නට පටන් ගනී… ගඟ මැද සිටින කිඹුලකු ඩැහැගෙන යන මේ අපරාධකරුවා නැවත ගොඩ එන්නේ හොඳටම කුණු වූ මළ සිරුරක් ලෙසිනි. ඒ අහිංසක අපරාධකරුවා බේරාගන්නට දියට පනින පොලිස් නිලධාරියා ද කිඹුලාගේ ග්‍රහණයට හසු නොවන්නේ යන්තමිනි.. ඒ නිසාම අසාධ්‍ය තත්ත්‍වයේ සිටින පොලිස් නිලධාරියා රෝහලේ ප්‍රතිකාර ලබයි..

මීලඟට ජනාකීර්ණ නගරයක මුඩුක්කුවක් අස්සේ ආයුධ සඟවා ඇති තවත් අපරාධකරුවා පොලිස් ජීප් රියෙන් පැන පලා යත්දී වේගයෙන් ධාවනය වුන ලොරියක හැපී එතැනම මියයයි.. ඔහු බේරාගැනීමට පැන්න පොලිස් නිලධාරියාටද සුළු තුවාල සිදු වී රෝහලේ ප්‍රතිකාර ලබයි…

වෙනත් තැනක කැලේ ගල් ගුහාවක සඟවා ඇති ආයුධ පෙන්වීමට යන අපරාධකරුවකු අත් පිටුපසට බැඳ මාංචු දමා සිටියදී ගල් ගුහාවේ ඇති අත් බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත දමා ගැසීමට යාමේදී අත් වැරැද්දකින් පිපිරී මියයයි. බෝම්බ කෑලි වැදී පොලිස් නිලධාරීන්ටද සුළු තුවාල සිදු වේ…

මෑත කාළයේ පොලීසිය භාරයට අත්වන සියළුම අපරාධකරුවන් මේ ක්‍රමය අනුගමනය කරමින් සියදිවි නසාගන්නට පටන් ගෙන තිබේ… එක අතකට මෙය ඇත්තෙන්ම ඉතාම හොඳ දෙයකි. මක් නිසාද යත් මේ අපරාධකරුවන් නැවත පුනරුත්ථාපනය කිරීමට කෙතරම් මුදලක් වැය වේද  යන්න ගනන් බලන විටත්, පුනරුත්ථාපනය වී යළි පැමිණෙන කිසිදු මිනිසෙකු සමාජයේ යහපත් මිනිසුන් ලෙස ජීවත් වීමට ඇති අකැමැත්තත් යන කාරණා සලකා බලන විට අර මූලික මුදල් වියදම් කිරීමට වඩා මෙසේ සියදිවි නසා ගැනීමට සැලැස්වීම ආර්ථිකමය වශයෙන් අපේ රටට ඉතාම ලාභදායී කටයුත්තක් බවට නිතැතින්ම පෙනී යයි. මේ සඳහා ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීම අවශ්‍ය නැත. මේ නිසා ඇත්තෙන්ම පොලීසියේ මහත්වරු රට සංවර්ධනය කිරීමට ලබා දෙන පිටිවහල අති ඉමහත්ය… මෙන්න අපේ ආචාරය….! මේ ලැයිස්තුවට එකතු කලයුතු තවත් කට්ටියක් සිටිති. ඔවුන්ද සියදිවි නසාගැනීමට ලක් කිරීමෙන් අපේ රට සුඛිත-මුදිත කර ආසියාවේ අයිස්චර්යය කිරීම ඉක්මනින්ම කල හැක…

  • ගණිකා මඩම් හොර සම්බාහන මධ්‍යස්ථාන ආදිය පවත්වාගෙන යන සමාජයේ ඉහල නිලතල දරන උදවිය…
  • අර කුඩු විකුණනවා යැයි කියන ලොකු ලෙකු මහත්වරු සහ ඒ අයගේ පුත්තු….
  • පගාව ගහන – දූෂණ කරන සංස්ථාවල සහ රජයේ ලොකු ලොකු මහත්හොරු…
  • කුඩු මුදලාලිලාගෙන් පගා ගන්නවා යැයි විපක්‍ෂය කියන (එහෙම අය ඉන්නා බවට විශ්වාසයක් මගේ නම් නොමැත) පොලීසියේ ලොකු මහත්වරු.
  • වැඩ නොකර අයිතිවාසිකම් පමණක් ඉල්ලන වෘත්තීම සමිති කාරයෝ..
  • මහමඟ උන්ගේ යැයි සිතාගෙන සිටින පොලීසියේ මහත්වරු තුට්ටුවකට මායිම් නොකරන ප්‍රයිවෙට් බස් පයිලට් ලා…
  • හොර ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන යන හොර දොස්තරලා…

ආදී මේ ලැයිස්තුවේ තවත් අය සිටී.. මේ අයටත් අර විදියටම සියදිවි නසාගන්නට උදව් දුන්නොත් අපේ ලංකාව ධර්මද්වීපයක් කිරීමේ මහා පුණ්‍යකර්මය ධර්මචක්‍රය අතේ ගසා ඉන්නා පොලීසියේ නිලධාරීන්ට ලැබී ඒ මහත්වරු මරණින් මතු තව්තිසා දෙව්ලොව ඉපදීමේ මහත්ඵල මහානිසසංස ලැබෙන බව නාථ දෙවියන් පවා සනාථ කරනු ඇත…

එසේ වුවද, පොලීසියේ මහත්වරුන් යනු සාමාන්‍ය මිනිසුන් සමූහයක් බව අප අමතක කළ යුතු නැත.. ආරවුලක් විසඳීමට ගොස් කඩුවලින් කපා කොටා මැරූ පොලීසියේ මහත්මයා, ග්‍රීස් යකෙකු යැයි සිතා මරන්නට ගිය මිනිසෙකු බේරා ගන්නට ගොස් නිරපාරාදේ මියගිය පොලීසියේ මහත්මයා ආදීන් ද අප සේම සම් මස් ඇට නහර වලින් සැදුන, කාගේ හෝ දරුවකු, පියෙකු සහ සැමියකු වන බව අප අමතක කළ යුතු නැත. පොලීසිය නීතිය අතට ගත්තාට, පොලීසියේ වැරදිවලට අප කිසිසේත් නීතිය අතට ගත යුතු නැත… ලංකාවේ සියල්ලම දේශපාලනීකරණය වීම නිසාම නීතියත් දේශපාලනයට යටවීම අභාග්‍ය සම්පන්න වුවත්, අප ඒ ගණයට වැටී තවත් ජීවිතයක් හෝ ජීවිත ගනනාවක් නැතිකර ගැනීම අණුවන කමකි. එසේම ඔවුන් අප වෙනුවෙන් දිවි පරදුවට කබා කළ දෑ අමතකව නැත, බොහොමයක් පොලිස් මහත්වරු සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරන අය විය හැක. සුළුතරයකගේ නොමනා ක්‍රියාකාරකම් (අපි නෙවෙයි කියන්නේ විපක්‍ෂය) නිසා සියළුම දෙනාගේ ඇඟේ මඩ තැවරීමද කණගාටුදායකය…..

අප කල යුත්තේ අපේ පොලීසිය ශක්තිමත් (සහ හැකි නම් බුද්ධිමත්) මිනිසුන් සමූහයක් කිරීමයි. එසේ නැතහොත් අපරාධකරුවන් දුර්වල මිනිසුන් කිරීමයි… ආයුධ පෙන්වන්නට යන අපරාධකරුවෙකු මාංචු දමා සිටියදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාම යනු පොලීසියේ මහත්වරුන්ට නිසි ලෙස ආහාර පාන නොලැබීම නිසා ඒ මහත්වරුන්ට මීටර සියයක් හමාරක් දුවාගන්නට ඇඟපත පණ නැති වීමයි… මේ නිසා අප සියළුම දෙනා එක්වී සෑම මසකම පෝය දිනට පොලීසිය ඉදිරිපිට පොලීසිය සඳහාම දන්සැල් පැවැත්වීමෙන් (හෝ අවම වශයෙන් බලු කපුටු දානයක්වත් දීමෙන්) මේ මහත්වරු පුෂ්ඨිමත්, ශක්තිමත්, ආරෝහපරිණාහ දේහධාරීන් කර, මේ පඟර නැට්ටන් වැනි සැකකරුවන් ඉස්සර කොතලාවල මැතිතුමා සේදවත්තේ ජෝන් ගොයියට බිවු රන්කිරි කටින් ඇවිත් මල මුත්තර පිටවෙන්නට දුන්නා සේ එක පා පහරින් මෙල්ල කරගන්නට පුළුවන් වන පරිදි හැඩි දැඩි කළ යුතුය. මේ නිසා පොලීලියේ මහත්වරුන් ද හුදී ජනයා කෙරෙහි සතුටු වී, සිය පූර්ණ බලතල යොදා කාරුණිකව කතාකර, පගා නොගෙන (පගා ගන්නවා කියන්නේ විපක්‍ෂයයි – මම නම් නොවෙයි) අප සියළුම දෙනා තමන්ගේ සහෝදර සහෝදරියන් මෙන් ආරක්‍ෂා කරනු ඇත. එසේම  කිසිවෙකු සුළු වැරැද්දක් කළත්, කාරුණිකව කතා කර වැරැද්ද පහදා දී නැවත ඒ වැරැද්ද නොකරන ලෙස අවවාද දී ඔබව යහපත් මිනිසකු බවට පත් කරනු ඇත.

ලංකාවේ මෙහෙම වුනාට පිට රටවල නම් අපරාධකරුවෝ මෙහෙම පොලීස් අත් අඩංගුවේදී මියයන්නේ නැතැයි කියන්නේ දේශ ද්‍රෝහීන් ය. පිටරටවලදී නම් දරුණු ගණයේ අපරාධකරුවන් ආයුධ පෙන්වන්නට එක්කගෙන යන්නේ නැත. ඒ ආයුධ පෙන්වන්නට ගොස් ඔවුන් සියදිවි නසාගත්තොත් මානව හිමිකම් කාරයෝ නඩු දාන නිසා බයටය. ඒ වෙනුවට වෙනත් ක්‍රම සහ විධි මගින්  ආයුධ හෝ මත් ද්‍රව්‍ය සොයාගන්නට පිටරට පොලීසි ක්‍රියා කරයි. ඒ වගේම පොලීසිය සැකකරුවකු අල්ලන්නේ සියළුම සාක්‍ෂි කිරිගහට මෝටාර් එකක් ගැහුවා සේ ටක්කෙටම හරි බවට සියළු සාධක ලැබුණ පසුවය. අපේ රටේ එහෙම කරන්නට ගියොත් පොලීසියේම සිටින කව්රු හෝ අළුගුත්තේරුවෙක් (පොලීසියේ මහත්වරු නෙවෙයි) අපරාධකරුට ඔත්තුව දී ඒ අපරාධකාර මහතා හසු නොවන්නට මඟ පාදනු ඇති.. එසේම පිටරට පොලීසිවල මහතුන් හොඳට හැඩි දැඩි ශක්තිමත්, දුටු විට අපරාධකරුවන්ට කලිසමේ මුත්‍රා පහවන අන්දමේ සිරුරු ඇති පුද්ගලයෝ වෙති… ඒ නිසාම පොලීසියට හසුවීමට කිසිදු අපරාධකරුවකුගේ උවමනාවක් නැත. අපරාධකරුවකු හසු වූ විට උගේ ආරක්‍ෂාවට වෙඩි සමහරවිට වෙඩි නොවදින කබායක් පවා අන්දවා යන යන තැන රැගෙන යයි… අපරාධකරුවන්ට ඒ තරම් ආරක්‍ෂාවක් දෙන්නේ පොලීසිය මානව හිමිකම් කාරයන්ට ඇති බය නිසාය… පිටරට පොලීසිය මිනිසුන්ට කොපමණ බයද කිවුවහොත්, පොලීසිය වැරදිකරුවන්ට කතා කරන්නේත් “සර්” කියාය… දවසක් මා සමග ආචාර්ය උපාධිය කළ මගේ ඉන්දියානු මිතුරෙක් මඳපමණට වඩා  පොඩ්ඩක් වැඩියෙන් රැගෙන වාහනය පදවාගෙන ගොස් පොලීසියට හසු වී රෑ තිස්සේම පොලිස් කූඩුවේ නිදාගන්නට සිදු වී ඇත.. ඔහුගේ රියැදුරු බලපත මාස හයකට තාවකාලිකව අත්හිටවූ පොලීසිය මත්පැන් බීමේ ආදීනව ගැන කියාදෙන පන්තියකටද මාස හයක්ම ඔහුව සහභාගී කරවා ගත්තේය. ඒ සියළුම අවස්ථාවල ඔහුට පොලීසියෙන් ආමන්ත්‍රණය කර ඇත්නේ සර් කියා ය… ඔහුට මාර හැපිය…. මක් නිසාද යත් ජීවිතයේ ප්‍රථම වතාවට පොලීසියේ කට්ටිය ඔහුට සර් කියපු නිසාය… ලංකාවෙ නම් ඉතින් ආචාර්ය උපාධි ගත්තාට වැඩක් නැත…. සර් කියව ගන්නට නම් අට පාස් වෙලා දේශපාලනය කරන්නට ඕනෑය…

ඉතින් අපි අපේ පොලීසිය රැකගන්නට කටයුතු කරමු…. මසකට වතාවක් හෝ ඊටත් වැඩියෙන් අප සෑම පොලිස් ස්ථානයක් ඉදිරිපිටම දන්සැල් සංවිධානය කර, පොලීසියේ මහතුන් ශක්තිමත් පුද්ගලයින් කරමු. අප ඔවුන් සතුටින් තබාගෙන අපරාධකරුවන් දැඩි ලෙස අල්ලාගෙන සිටින්නට හැකි පුද්ගලයින් කරමු… මානව හිමිකම් කාරයොන්ට පොලීසි පැත්ත පලාතේ එන්නට ඉඩ නොතබමු. හොරුන්, කුඩු කාරයන් මෙන්ම එසේ කරන ප්‍රභූවරුන්ගේද තොරතුරු නොපමාව පොලීසියට ලබා දී සිරි ලංකාව අනාගත්ත අයිස්චර්යය බවට පත් කරමු… අපි එක් වූවහොත් කරන්නට බැරි දෙයක් නැත….