Daily Archives: ඔක්තෝබර් 20, 2011

අපේ ජනාධිපතිතුමාට සීතාම්බර පටසළුවක් ඇන්දෙවුවේ කවුද ? නොහොත් ආණ්ඩුව හොරු සමඟ හෙළුවෙන්…………


ආණ්ඩුව හෙළුවෙනි… ජනාධිපතිතුමා ද හෙළුවෙනි…මැති ඇමතිවරු ද ආණ්ඩුවේ නිලධාරීන් ද හෙළුවෙනි…… හොරු, තක්කඩි, කුඩු මුදලාලිලා, මැරයන්, ආදී සියළුම දුශ්චරිත සහිත පුද්ගලයන් යැයි චෝදනා ලැබූ අය සමඟ ලොකු ලොක්කෝ සියළුම දෙනා හෙළුවෙනි….  හැමටම පෙණුනත් සියළුම දෙනා කට වසාගෙන ඉවසා දරා සිටිති… හෙළුවෙන් සිටිනා අය තව තවත් හෙළුව පෙන්වමින් නටති… මහජනතාව පිළිකුලෙන් සහ විමතියෙන් කිසිවක් කර කියාගත නොහී බලා සිටිති…. කරුමය වන්නේ විකල්පයක් නැති කමය. විකල්පයක් නැති තැන ඕනෑම කෙනෙකුට පාළුගෙයි වලං බිඳීම කළ හැක…. විකල්පයක් ආ කළ සිදු වන්නේ ගඩාෆිට සිදු වූ දේය…. ආණ්ඩුවේ මේ ක්‍රියා කලාපයෙන් එය ඉක්මන් වනවා විනා වෙනසක් සිදු වන්නේ නැත.

ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමතිතුමා ආරක්‍ෂක ලේකම් තුමා සමඟ

භාරත ලක්‍ෂමන් මහතා මහ දවාලේ පාර මැද වෙඩි තබා මැරීමට සම්බන්ධ ආරක්‍ෂක අධීක්‍ෂක ඇමති අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා එහි සැකකරුවකු නොවේ යැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක ලක්‍ෂමන් හුළුගල්ලේ මහතා පවසයි. එය එසේ කරවන්නැයි රජයේ බලවත්ම නිලධාරියා වූ ආරක්‍ෂක ලේකම් තුමා පොලීසියට අණදුන්නේ යැයි ද වාර්තාවල සඳහන් වේ. දක්‍ෂ රාජය නිලධාරියෙකු වන ඒ මහතා එසේ කරාවි යැයි අපට සිතිය නොහැක. තවද ඒ සම්බන්ධව පරීක්‍ෂණ කරන පොලිස් නිලධාරීන් ද මාරුකර යවා ඇති බව ආරංචි ය. මේ සිද්ධියට තිලංග සුමතිපාල මහතා වැනි තුන්වැනි පාර්ශ්වයක් සම්බන්ධ යැයි තවත් කතාවකින් කියැවේ… අවසානයේ තීන්දුව වන්නේ භාරත ලක්‍ෂමන් මහතා සියදිවි නසාගත් බව ය… ඒ ලංකාවෙ හැටි ය.

භාරත ලක්‍ෂ්මන් මහතාගේ කේස් එක (මම හිතන්නේ පෙට්ටිය විය යුතුය) ආණ්ඩුවේ කට්ටිය වසන් කරන්නට හදනවා යැයි කියා දයාසොරි ජයසේකර මහතා චෝදනා කරයි. දයාසොරි දන්නේ මොනවා ද ? ස්වර්ණවාහිනියේ නටන්න පමණි. කොලොන්නාවේ කේස් එක වෙන්න කලින් පාර්ලිමේන්තුවේ ඒකත් කියා එළියට දම්මවා ගත් මේ මහතා දැන් දැන් රෝසි සේනානායක මැතිණියගෙනුත් කුඩ පාරවල් කනවා කියා කොහෙදෝ පත්තරයක තිබුණා මතකය…. තමන්ගේ ආණ්ඩුවේ උපදේශකවරයෙකු මහදවල් පාර මැද මරා දැමූ සිද්ධියක් විලි ලජ්ජාවක් ඇති – ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී සංවිධානය සමූලඝාතනය කල රජයක් එසේ ඉවත දමයිද ? ලෝකයේ හොඳම පොලීසිය ද ඇත්තේ අපටය. ආයුධ පෙන්වන්නට යන එකුදු සැකකරුවකු පණපිටින් ආපසු එන්නේ නැති එකම රට අපේ රටය….  අවුරුදු විසි ගාණක් බඩේ තිබූ අම්මාගේ කිරි කටින් එන්න ගහන්න පුළුවන් එකම පොලීසිය ලංකාවේ පොලීසිය පමණි. එවන් වූ පොලිස් දෙපාර්තමේන්තුවක් ඇති අපට මේ මහදවල් සාක්‍ෂිකාරයින් සියගණනක් ඇති සිද්ධියක සැකකරුවන්-අපරාධකරුවන් අල්ලා ගැනීම මහ ලොකු කජ්ජක් ද? දැනටමත් ඉන්දියාවට ගොස් ඇති සැකකරුවන් දෙදෙනෙකු පවා අල්ලාගෙන ඇති අතර තුන්වැනි පාර්ශවයේ සැකකරුවන් ද මේ වනවිට අල්ලාගෙන යමින් සිටිනවා ඇත.

එසේම විපක්‍ෂයේ අළුගුත්තේරුවන් විසින් කෘත්‍රිම කුඩු හිඟයක් මවා පාමීන් කොළඹ මත් ද්‍රව්‍ය වෙළඳාමට දුමින්ද සිල්වා මහතා සම්බන්ධ කිරීමේ දැඩි උත්සාහයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් බවතින බව ද අපට දැනගන්නට ලැබී ඇත. මෙවැනි බොරදියේ මාළු බාන සිදුවීම් නිසා විපක්‍ෂයට කිසිදු විටක බලයට ඒමට පුළුවන්කමක් නැති බව අප එකහෙලාම පැවසිය යුතුය. ජනාධිපති තුමා තමන්ගේ පක්‍ෂයේ තමන්ට දර දිය ඇද්ද භාරතගේ මළගෙදර නොගොසින් රූපා කරුණාතිලක මහතාගේ මළ ගෙදර ගිය බවට කටකතාවක් ද ඇත… ඇයි හත් දෙයියනේ අර අපි දැක්කේ එතුමා ගිහින් ආචාර කරලා එනවා ? මේ කට කතා හදන එවුන්ට හෙනම ගහන්න එපා යෑ…

සංචාරකයෙකුගේ රුපියල් 2000 ක් වටිනා සුවඳ විලවුන් බෝතලයක් හොරා ගත්තැයි කියා හෝටල් සේවකයෙක් හිරේ දමා තිබේ… ඇත්තෙන්ම එය කළ යුතු ක්‍රියාවකි. ඒ සේවකයා කර ඇත්තේ ලංකාවට සංචාරකයන් ගෙන්වීම නතර කළහැකි තරමේ ජාත්‍යන්තර මට්ටමේ කුමන්ත්‍රණකාරී කටයුත්තකි. යුද්ධය අවසන් වූ පසු සංචාරකයින් වැල නොකැඩී අපේ රටට එති. අපේ රටේ හෝටල් සේවකයන් හොරුන් බවට පිටරට ප්‍රචාරයක් පැතිර ගියහොත් සංචාරකයින් පැමිණීම අඩු වේ… ඒ නිසා යුක්තිය හරි හැටි පසිඳලීමට ඌ අල්ලා හිරේ දැමිය යුතුය. අද සුවඳ විලවුන් බෝතලයක් හොරකම් කරන එකා  අනාගතයේ වැරදිලාවත් පාර්ලිමේන්තුවට ගියොත් මොනවා හොරකම් කරයිද කියා සිතාගන්නටවත් නොහැක. ඒ නිසා ඌ හිරේ දමා අනාගත හොරෙකු බිහි වීම නතර කළ යුතුමය.

නාවික හමුදාවේ ඩීසල් හොරකම් කළ හත් දෙනෙකු රිමාන්ඩ් කර තිබේ. එයද වටිනා ක්‍රියාවකි. හොරු නැති කළ යුතුය. උන් හොරකම් කළ ඩීසල් පෙන්වන්නට ගොස් ගිණි තබාගන්නට සැලැස්විය යුතුය. දැන් නාවික හමුදාවෙන් හොරකම් කරන එවුන් අනාතගයේ වැරදිලාවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගියොත් රටටම පාඩු වන හෙජිං ගණුදෙනු වැනි දේ කර රට බංකොලොත් භාවයට පමුණවන්නට ඉඩ ඇත. ඒ දේ නොවන්නට උන් දැන්ම ඉවර කළ යුතුය.

රටටම පිළිලයක් වූ ලංකා ඊ නිවුස් වාරණය කර ඇත. මේ වෙබ් අඩවියේ තිබෙන සියළුම කරුණු අජපල් බොරු ය. රටට හානිකරය. මේ නිසා එය තහනම් කළ යුතුමය… ජනමාධ්‍ය නිදහසක් අපට ඇත්තෙන්ම අවශ්‍යද ? රජයේ මාධ්‍ය ඇතිතරම් පුවත් සපයත්දී විකල්ප මාධ්‍ය කුමටද ? මේ නිසා රජයේ මාධ්‍ය පමණක් ඉතිරි කර අනෙක් සියළුම මාධ්‍ය තහනම් කළ යුතුය.. බොරු ලියන බ්ලොග් කාරයන් පවා තහනම් කළ යුතුය.

රජයේ සේවකයන් අපක්‍ෂපාතී විය යුතු බව කරු ජයසූරිය මහතා පවසයි. පබාටත් පැරදුන කරු දන්න මගුලක් නැත. රජයේ සේවකයන් රජයට පක්‍ෂපාතී විය යුතුය. ඔවුන් රජයට පක්‍ෂපාතීව රජයේ කටයුතු කළ යුතුය, රජයේ සේවකයන් කියන්නේ එබැවිනි. එසේ නැත්නම් උන් විපක්‍ෂයේ සේකයන් වේ… රජය ගෙනයන ක්‍රියාමාර්ග අනුමත් කරමින් ආණ්ඩුවේ ප්‍රසාදය දිනාගනිමින් රටේ අභිවෘද්ධීය, සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම රජයේ සේවකයන්ගේ වගකීමයි. එසේ නොකරන උන් විපක්‍ෂයේ සේවකයන් වේ. කරු දන්න බම්බුව..!

රනිල් වික්‍රමසිංහ මහතා බැහැලා වැඩ කිරීම නිසා කොළඹ නගරසභාව පැරදුන බව කෙලියනේද රඹුක්වැල්ල මහතා පවසයි. රනිල්ටත් ඕන නැති මගුලක් නැත. ත්‍රී විල් ගානේ කොළඹ වතු අස්සේ ගිහින් අන්තිමට ගිනස් වාර්තාවක් තියන්න තිබුණ අවස්ථාවත් නැති කරගත්තා. ගීතාංජන මෙන්ඩිස් මහතාගෙන් අසා දැනගත්තොත් සමහරවිට මෙය ගිනස් වාර්තාවක් දැයි කියා දැනගත හැක.

නිමල් ලංසා සනසවන්න ජනාධිපතිතුමා ගිහින්....

තවද, ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම පිණිස මීගමුව නගරයේ ආදර්ශමත් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට විශේෂ කාර්ය බලකාය කඩා පැනීමේ ප්‍රවෘත්තියක් ද මේ වනවිට මාධ්‍ය උණුසුම් කරමින් පවතී. හොඳ  වෙලාවට ජනාධිපතිතුමාත් මර්වින් සිල්වා ඇමති තුමාත් එහි ගොස් නිමල් ලංසා මහතාගේ සිත සැනසුවේ නැතිනම් මීගමුව පුරවරයම එකම මළගෙයක් වනවා නොඅනුමානය. හිතේ අමාරුවට වැරදිලාවත් නිමල් ලංසා මහතා කිහිපදෙනෙකුට වෙඩි තබා සියදිවි නසාගත්තානම් මීගමුව දියුණු කරන්නට සිටින දැයේ පුත්‍ර රත්නයක් අපට නැතිවනවා ඇත. දුමින්ද සිල්වා මහතා සනීපෙන් සිටියා නම් ඒ මහතා ද ලංසා මහතා බලන්නට යන්නට ඉඩ තිබුණි. අවම වශයෙන් එකුදු විපක්‍ෂ දේශපාලනඥයෙකු නිමල් ලංසා මහතා බලන්නට නොයාමෙන් ම උන්ගේ කුහක කම මනාව එළි වූ බව මීගමුව ප්‍රදේශවාසීන් පවසති.

මා දේශපාලනඥයන්ට ගරු නොකරමි. මගේ මිතුරෝ කිහිප දෙනෙකු දේශපාලනඥයින් වුවත් මම උන් ඇසුරු කරන්නේ මගේ මිතුරන් ලෙස විනා දේශපාලනඥයින් ලෙස නොවේ… මා ගරු කළ දේශපාලනඥයින් කිහිප දෙනෙකු සිටිති.

හිටපු ජනාධිපති ඩී බී විජේතුංග මැතිතුමා ගේ අවංක භාවය සහ සරළකම නිසාත්, හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කර හෝ දුගී ජනතාවට ගෙවල් හදා දීම (යන කාරණය පමණක් පදනම් කරගෙන) ලලිත් ඇතුලත්මුදලි, ලක්‍ෂමන් කදිරගාමර් යන මහතුන්ගේ විචක්‍ෂණ දේශපාලන බුද්ධිය සහ සරළ දිවි පෙවෙත, ගාමිණී දිසානායක මහතාගේ කාර්යක්‍ෂමභාවය, අනුර බණ්ඩාරනායක මහතාගේ වාග් චාතූර්යය, රනිල් වික්‍රමසිංහ මහතාගේ මූල්‍යමය අවංකභභාවය (පමණක්) ආදී දේ නිසා මා ඒ මහතුන්ට ගරු කරමි. වත්මන් ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්‍ෂ මහතාට මා ගරු කරන්නේ එතුමා පොරොන්දු වූ පරිදිම යුද්ධය නිමා කර රටට සාමය ගෙන ඒම නිසාය… වෙනත් අංශ වලින් ගත් කළ දැන් දැන් ඒ මහතා පරිහාණියට පත් වෙමින් පවතී. එක්කෝ එය හැත්ත බුරුත්තක් සිටිනා ආණ්ඩුවේ උපදේශක මණ්ඩලවල කචල් එකක් විය හැක. ප්‍රේමදාස ජනාධිපතිතුමා ද පරිහාණියට පත් වූයේ උපදේශක මණ්ඩලවල කීම අසා පිස්සු කෙළීම සහ සොත්ති උපාලි වැනි මහතුන් ලං කරගත් නිසාය…

දැන් ආණ්ඩුවේ සීතාම්බර පටසළුව අතරින් හෙළුව පෙනීමට පටන් ගෙන ඇත… සියල්ල පෙනීමට කලින් එක්කෝ හෙළුව (වැරදි) සාදා ගත යුතුය… නැත්නම් සියල්ල ගලවා දමා හෙළුවෙන්ම සිටිය යුතුය… දෙකෙන් මොකක් තෝරා ගන්නවාද යන්න ආණ්ඩුව තීරණය කළ යුතුය…. වාසනාව වන්නේ මොනවා කළත් ආණ්ඩුව නැවතත් බලයට පත් කිරීමට අපේ මැටි මෝල් ජනතාව සැදී පැහැදී සිටිනු ඇත… උන්ට තලන්න මඩු වලිග සැදීමට මඩුවන් මැරීමද මහා අපරාධයකි….