Daily Archives: ඔක්තෝබර් 7, 2011

2011 ඔක්තෝබර් 07 : සාර්ථක මිනිසෙක් (හෝ ගැහැණියක්) වෙන්න ඩිග්‍රියක් තියෙන්නම ඕනද ?


මෙන්න මේ ප්‍රශ්නය හුඟ කලක් මගේ සිතේ වද දුන්නා…. ඇත්තෙන්ම මම මේ මහලොකු ආචාර්ය උපාධියක් තියාගෙන මොනවද කරන්නේ කියලා… සමහර වෙලාවට හිතෙනවා අපරාදෙ අවුරුදු පහක් නිකරුණේ කා දැම්මා ද කියලා… තවත් වෙලාවකට හිතෙනවා මොනවා උනත් ඉස්සරහට (එහෙම දෙයක් තිබුණොත්) ප්‍රයෝජනවත් වේවි නේද කියලා… දවසක් තාත්තා කියපු දෙයක් මගේ හිතේ පතුලටම වැදුනා… ” පුතේ උඹ මේ ආචාර්ය උපාධි ගන්න වැය කරපු කාලෙ ලංකාවෙ ඉඳන් දේශපාලනේ කළා නම් මෙලහකට අපේ පරම්පරාවම ගොඩ” කියලා… නමුත් මට හිතට එකඟව අද පවතින දේශපාලනය කරන්න පුළුවන් ද ?

මේ සිතිවිල්ල නැවත වතාවක් මතු වුවේ පහු ගිය දවසක ස්ටීව් ජොබ්ස් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දී පවත්වපු දේශනය බැලුවාමයි. බිල් ගේට්ස් – ස්ටීව් ජොබ්ස් ආදී ලෝකය වෙනස් කළ පුද්ගලයෝ සමහරක් විශ්ව විද්‍යාලවලින් හැලුන උදවිය… මේ අය තමන්ගේ ජීවන මගේ හිණිපෙත්තටම නගින්නත්, තවත් සමහරක් අය ඉගෙනීමේ පරතෙරට ගියත් කිසිදු සාර්ථකත්‍වයක් නැතිව සිටින්නේත් ඇයි කියන ප්‍රශ්නයට මම තවමත් පිළිතුරු හොනවා.. කර්මය සහ උත්සාහය කියන සාධක දෙක පමණක් මේ සාර්ථක/අසාර්ථක බවට හේතුපාදක වෙලා නැහැ… සමහරවිට හරි පුද්ගලයා හරි තැන හරි වෙලාවේ සිටීම වෙන්නටත් පුළුවන්. (එය කර්මයද ? )… එසේත් නැතිනම් තමන්ගේ සිතැඟි පරිදි අවදානමක් රැගෙන කටයුතු කිරීමද ?

බොහෝ දෙනෙකුගේ සිතේ තිබෙන්නේ කෙසේ හෝ උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාලයකට ගොස් උපාධියක් ලබාගෙන රැකියාවක් කිරීමට. මෙය බොහෝ දුරට සමාජයේ පිළිගැනීමක් තිබෙන්නේ උපාධිකාරයන්ට නිසා තමන්ට සමාජයේ පිළිගැනීමක්, රැකියාවේ උසස්වීමක් ආදියලබා ගැනීමේ චේතනාව යටි හිතේ කොහෝ හෝ පැලපදියම් වෙලා තියෙන නිසා තමන්ව එතැනට පොළඹවනවා වන්නට පුළුවන්. රසායන විද්‍යා ආයතනයට බැඳෙනවිට මට තිබුණ එකම අවශ්‍යතාවය වුනේ රසායන විද්‍යාව වැඩි දුරට ඉගෙනීමයි.. කෙමෙන් කෙමෙන් එය තේරුම් ගැනීම පහසු වනවිට, අනෙක් අයට කියලා දෙන්න පුළුවන් තරම් දැනුමක් එකතු වෙනවිට, වටේ පිටේ හිටි අය අතරේ, උගන්වපු මහාචාර්යවරු අතරේ ප්‍රසිද්ධ වෙනවිට, මහාචාර්යවරු තවදුරටත් ඉහළට ඉගෙන ගන්න කියලා  උනන්දු කරනවිට මමත් ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ සිහිනයේ බැඳුනා… ඇල්කෙමිච්චිත් ඒකටම හරියන්න තකට තක වෙච්චිකොට තවත් ඒ උණ වැඩි වෙලා තමයි මේ වින්නැහිය කරගත්තේ… ඒත් දැනුත් බොහෝ දෙනා අපි ලබාගත්ත උපාධිය අගය කරනවිට ඇත්තෙන්ම මෙය මහා ලොකු දෙයක් නේද කියලා හිතුනත්, විශ්ව විද්‍යාලයේ සැරිසරන ආචාර්ය උපාධි සංඛ්‍යාවත්, අප හා සමකාලීනයනුත් අතරේ අපිත් සාමාන්‍ය පුද්ගලයින්…

ඉතින් අපේ උපාධිධාරීන් බොහෝ දෙනෙක් ලිප්ටන් වටරවුමේ පිකටින් කරන අතරේ තවත් බොහෝ දෙනෙක් උපාධියක් ඇතිව හෝ නැතිව සාර්ථක ජීවිත ගතකරනවා.. සමහරු යන්තම් සාමාන්‍ය පෙළ සමත් වෙලා මහා ව්‍යාපාර කරගෙන සිටින්නේ ඒ අයගේ අධ්‍යාපනය අත්දැකීම් වලින්ම ලබාගෙන…. තවත් සමහර උපාධිධාරීන් ලබාගත්ත උපාධිය අමතක කරලා සාර්ථකව ගොවිතැන් බතක් හෝ කරගෙන නැතිනම් ස්වයං ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙනවා… ඒ දොගොල්ලොම එක්කෝ අත්දැකීම් වලින් ලබාගත් දැනුමින් හෝ උපාධියෙන් ලබාගත් පුහුණුවෙන් තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන තිබෙනවා….

උපාධියක් හෝ උපාධි දහයක් තිබුණත් ජීවිතය හරි හැටි හැඩගස්වාගන්න බැරිව අකාලයේ කාලකන්නි වෙලා යන ජීවිත අනන්තවත් තිබෙනවා… ඒ වගේම කිසිදු උපාධියක් නැතිවත් සාර්ථකව ජීවත් වෙන පුද්ගලයෝ අනන්තවත් අප අතර සිටිනවා.. මට හිතෙන විදියට ලබන උපාධියට වඩා තමන් ජීවිතය ගැන හිතන විදිය අනුව බොහෝ දුර යා හැකියි… උපාධිය තිබුණොත් හෝ දැනුම ලබා ගතහොත් එය රුකුලක් වෙනවා නොඅනුමානයි…. ඉගෙන ගන්න එපා කියන්නේ නැහැ… ඉගෙන ගත්ත දේ මොනවා වුනත් හරි හැටි පාවිච්චි කරන්න….

ඉතින්, ඔබටත් බිල් ගේට්ස් කෙනෙක් වෙන්නට ස්ටීව් ජොබ්ස් කෙනෙක් වෙන්නට බැරි කමක් නැහැ… උත්සාහ කරන්න….