Daily Archives: ඔක්තෝබර් 6, 2011

2011 ඔක්තෝබර් 06 : කුමට නැටුම් කෙළි කවට සිනා දා….. මරුට නොමැත කිසිවිටකදි බාධා……


ඊයෙ රෑ Group Meeting එක අවසාන වෙලා රසායනාගාරයට ආපු මට දැකගන්නට ලැබුනෙ බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියක්.. ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මිය ගිය බව.. මම ඇපල් පාරිභෝගිකයෙක් නෙවෙයි.. ඒත් මම ඇපල් පරිඝනක ඇති තරම් භාවිතා කර තිබෙනවා… මේ නිසාම මම ඇපල් උපකරණ සහ සේවා වල තත්ත්‍වය හොඳින් දන්නවා… ඔහුගේ දැක්ම අවුරුදු කිහිපයක් ඉදිරියෙන් දකින දැක්මක් බව පෙනෙන්නේ ඒ උපකරණ භාවිතා කරනවිටයි.. සමහරවිට මගේ මීලඟ පරිඝණකය ඇපල් ගෙඩියක් වෙන්නට පුළුවන් ඉඩකඩ බොහොම වැඩි ඒ නිසයි.

අයින්ස්ටයින් ට පසු මේ ලෝකය වෙනස් කළ එකම පුද්ගලයා ස්ටීව් ජොබ්ස් ලෙස මා දකින්නේ ඒ නිසයි. කවුරු මොනවා කීවත් ඔහු දක්‍ෂ සහ අනාගතය අද දවසේදී දුටු පුද්ගලයෙක්…

කොහොම වුනත් ඔහු ගිහින්…

ලෝකයේම ඉහළම වරප්‍රසාද, අධික ධනයක්, හැමදෙනාගේම පිළිගැනීම තිබුණත්, ඒ සියල්ල හැර දමා ඔහු ගිහින්…

අපි බොහෝ දෙනෙක් නොදකින සත්‍යයක් අප ඉදිරිපිට තබා ඔහු ගිහින්…..

අපි මොන නැටුම් නැටුවත්, මොනතරම් ධනය එකතු කළත්, මොනතරම් යාන වාහන, වතුපිටි එකතු කළත්, යම් දවසක අපි ඒ සියල්ල හැර දමා යන්නට ඕන බව සමහරුන්ට මතක නැහැ….

තමන් මොන ආගමක වුවත්, තමන් හරිහැටි ජීවත් විය යුතු බව සමහරුන්ට අමතක වෙලා…

ඒ සියල්ල හැර දමා කවදා හෝ අප යායුතු බව සමහරුන්ට අමතක වෙලා…

තමන් ගෙන යන්නේ එකතු කළ මිල මුදල් නොව එකතු කළ මිනිසුන්ගේ මතකයන් බව සමහරුන්ට අමතක වෙලා..

ඒ බව මතක් වෙනවිට සමහර අය අප දමා ගොස් අවසානයි…. එවිට ඔබ පසුතැවිලි වෙනවා ඔබෙන් විය යුත්තක් අතපසු වුනා නේද කියා…..

අමතකවී ඇති මිතුරන්ට ඉඳහිට කතා කරන්න… මිතුදම් අළුත් කරගන්න… ඥාතීන්ට කතා කරන්න… මිතුරන් සමග විනෝද වන්න… එකතු කරන සල්ලිවත්, වාහනවත් ගෙවල් දොරවල් වත් අප වෙනුවෙන් වෙහෙසෙන්නේ නැහැ… අපේ මතකයන් තබා ගන්නේ නැහැ..   සල්ලි නැතුව බැහැ… ඒත් ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි…

මිනිසුන් එකතු කරන්න….