2011 මාර්තු 11 : යළි අවදි වූ 2004 සුනාමියේ මතකය…………
“අන්න සුනාමියක් එනවාලු නැගිටින්න”, කියලා ඇල්කෙමිච්චි කෑගහන සද්දෙට ගැස්සිලා ඇඳෙන් වැටිච්චි මම සාලෙට දුවගෙන ආවෙ මෙදාපාර නම් ඉවරම තමයි කියලා හිතාගෙන…. ටීවී එකට මූණ දාලා බැලින්නං මේ සුනාමිය ඇවිත් තියෙන්නේ ජපානෙට….
ඒ වුනත් ගියපාර ආපු සුනාමියෙ මතකය මේ සුනාමිය දැක්කාම අළුත් වුනා..
ගියපාර සුනාමිය එනකොට මම හිටියේ කඳානේ යාළුවෙක්ගේ ගෙදර.. අපි ලංකාවට ගියේ දෙසැම්බර් 19 වෙනිදා… එදා ඉඳලා එක එක දේවල් තිබුණා… රසායන විද්‍යා ආයතනය සංවිධානය කරපු, පිටරට ඉඳලා ආපු ශිෂ්‍යයින් ඉදිරිපත් කරන පර්යේෂණ ඇතුලත් පුංචි දේශන කිහිපයක් තිබුණෙත් මේ අල්ල පනල්ලෙම තමයි… ඒවා ඉවර වෙලා අපේ මහගෙදර ගිහින්, ඇල්කෙමිච්චිගේ පවුලේ අයත් එක්කලා කතරගම ගියා. අපි දෙන්නා ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක ලඟට වෙලා ඇල්කෙමිච්චිගේ ගෙදර අය වාහනෙන් එනකල් හිටියේ 23 වෙනිදා උදේ 9.00 ට විතර.. එදා සුනාමිය ආවනම් අපි දෙන්නත් ඉවරයි.. ඔක්කොම එක්කලා කතරගම ගිහින් අපි දෙන්නා විතරක් 24 වෙනිදා හවස බස් එකේ නැගලා කොළඹ ආවේ 25 වෙනිදා දෙව්රුවන් සර්ගේ ගෙදර නත්තල් පාටියට සහභාගී වෙන්නයි….. ඉතින් එදා එහේ ගිහින් දවසම ගතකරලා 25 රාත්‍රියේ අපි දෙන්න හිටියේ ගඳානේ මගේ මිතුරෙක් වූ ඩැරල් ගේ ගෙදර…ලංකාවෙ ඉන්නකොට නම් හැම අවුරුද්දේම නොවරදවාම 25 වෙනිදා ගතවෙන්නේ දෙව්රුවන් සර්ලගේ ගෙදර… මෙහේ ආවට පස්සේ ඒකත් නැති වුනා… ඇටර්නි ඇට් වෙරි ලෝ – උනන්දුවයි, මසාජ් ක්ලිනික් එකක් දාගෙන ඉන්න පංචකර්ම ආයුර්වේද දොස්තරයි, දඬුබස්නාමානයේ කෝණාරයි නම් තවමත් නොවරදවාම යනවා, නොමිලේ බොන්න ලැබෙනව නේ…
උදේ පාන්දර බැංකුවාගෙන් (ඌ සෙලාන් බැංකුවේ වැඩ කරන්නේ) කෝල් එකක් එනවා… මචං. අන්න ගාල්ලේ මුහුද ගොඩගලනවා… අපි බම්බලපිටියට යනවා ඒක බලන්න කියලා.. මම ඉතින් කිවුවා කොහොමත් පෝය දවසට ගාල්ල පැත්තේ මුහුද ගොඩගලන එකේ ඕක අමුතු දෙයක් නෙවෙයිනේ මොනවා බලන්නද කියලා…එතකොට තමයි බැංකුවා කිව්වේ මේ සුනාමියක් එනවා කියලා…. අපි ලහි ලහියේ ඇල්කෙමිච්චිගේ ගෙදර එනකොට තමයි සුනාමිය කැළණි ගඟ දිගේ ඉහළට ගියේ… ඉක්මනටම ඇග්කෙමිච්චිගේ පවුලේ අයට දුරකථන පණිවිඩයක් ගත්තේ ඒ ආරංචිය කියන්න… මොකද, ඒ අය කතරගම ඉඳලා 26 වෙනිදා උදේ කිරින්දේ යන්නයි හිතාගෙන උන්නේ.. ඒ වෙනකොටත් ඒ අය කිරින්ද බලා ගිහින්.. කොච්චර කෝල් කළත් ෆෝන් එකට කතා කළේ නැති වුනාම අපි දෙන්නගේ බය සෑහෙන වැඩි වුනා… ටිකෙන් ටික රූපවාහිනියේ වෙච්ච සිද්ධියේ පින්තූර වැටෙනකොට අපේ අයට මොනවා වෙලාද කියලා හිතාගන්න බැරුවයි හිටියේ.. එතකොට තමයි ඒ පණිවිඩය අපට ලැබුණේ….
ඒ…. ඒ අය කිරින්ද බලා ගිහින්…… වෙනදා පාර අයිනේ එළවළු කඩවලින් එළවළු ගන්නේ නැති ඇල්කෙමිච්චිගේ මෑණියන්දෑට එදා එළවළු ගන්න හිතිලා.. ඒ නවත්වපු වෙලේ ගොඩක් වාහන හරවගෙන පණ එපා කියලා යනකොට තමයි සුනාමිය පිළිබඳ ආරංචිය ලැබිලා තියෙන්නේ… එහෙම නැත්නම් සමහරවිට ඒගොල්ලෝ දිගටම ගිහින් සුනාමියට අහුවෙන්නත් ඉඩ තිබිලා තියෙනවා… කොහොම හරි ඒගොල්ලෝ 26 රෑ ඇඹිලිපිටිය පාරෙන් ගෙදර එනකල් අපි දෙන්නට සැනසීමක් තිබුණේ නැහැ…. ඒ අතරේ මෙහේ ඉන්න අයට සුනාමිය පිළිබඳ ආරංචි වෙලා ඔක්කෝම කලබල වෙලා.. දෙපාර්තමේන්තුවේ ලොක්කා (වන මගේ මහාචාර්යවරයා) බොහොම කණගාටුවෙන් ඉඳලා තියෙන්නේ මගෙන් තොරතුරක් නැති එක ගැන.. එයා දෙපාර්තමේන්තුවේ හැමෝටම ඊ මේලයක් මගින් දැනුම් දීලා තියෙනවා අපි දෙන්නා ලංකාවට ගිහින්, අපේ තොරතුරක් කාට ලැබුණත් එයාට දන්වන්න කියලා… කොහොම වුනත් 26 හවසම මම ලොක්කට කතා කරලා කිවුවා අපි සනීපෙන් ඉන්නවා කියලා…..
දන්න කිසි කෙනෙකුට ජීවිත හානි වෙලා නොතිබුණත්, ගාල්ලේ ඇන්ටිලාගේ කඩ හතරම දියබත් වෙලා ලොරි දෙකත් ආගිය අතක් නැති වුන එක තමයි දන්න කියන කෙදෙකුට වුන ලොකුම හානිය… පසුදා ඉඳලාම විපතට පත් අයට උදවු කරන්න කට්ටිය ලෑස්ති වුනත්, වැඩේ සංවිධානය කරගන්න බැරි වුන නිසා රූපවාහිනී සංස්ථාවට අපෙන් දෙන්න පුළුවන් විදියේ ද්‍රව්‍යමය ආධාර දීලා සෑහීමකට පත් වෙන්න වුනා… ඒ සුනාමියේ මතකය තවමත් හිතෙන් ඈත් කරගන්න බැරිවුනා වගේම මේ සුනාමිය නිසා එය නැවත අවදි වුනා…..
ඒ අස්සේ පැටියගේ මාළු ටැංකියට අළුතෙන් ගෙනාපු පුංචි මාළු දෙන්නෙක් මියගිහින්…උන් දෙන්නා ගෙදර වැසිකිලියට හරහා මුහුදට යවලා අවසාන කටයුතු බොහොම චාම් අන්දමින් නිම කළා….. දැන් ගෙදර ගිහින් ටැංකිය පිරිසිදු කරන්නත් වෙන්නේ මටම තමයි…. ටැංකිය එයාගේ වුනාට වැඩ මට…. මොනවා කරන්නද ? ඕවා ඔහොම තමයි….
Posted on මාර්තු 11, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.
ප්‍රතිචාරයක් ලබාදෙන්න
Comments 0